SRILANKAN NEWS

මීතොටමුල්ල සිඳුවීම ගැන පරීක්‍ෂණයක් පවත්වනවා – ජනපති

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීම පිළිබඳව විශ්‍රාමික විනිසුරුවරයෙකු පත් කර වාර්තාවක් ලබා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ. අද උදෑසන මාධ්‍ය ආයතන ප්‍රධානින් හමුවුණු අවස්ථාවේ ජනාධිපතිවරයා අවධාරණය කළේ, මීතොටමුල්ල සිදුවීමට අදාළව යම් අයෙකු වරදක් කර ඇතැයි තහවුරු වුවහොත් දඬුවම් දීමට පසුබට නොවන බව ය.

මේ අතර විගණන පනත වහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස අදාළ අංශවලට උපදෙස් දෙන බව මෙම හමුවේදී කියා සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම මැතිවරණ පොරොන්දුවක් වූ විගණන පනත ප්‍රමාදවීම පිළිබඳව කනස්සල්ල පළ කළේ ය.

ඉදිරි සති දෙක ඇතුළත රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමේ අරමුණින් රජයේ ආයතනවලට නව මුහුණුවරක් ලබාදෙන බව ද මෙහිදී ප්‍රකාශ විය.

ඒ අනුව රජයේ තනතුරු රැසක් වෙනස් වන බව ත් මුහුණු මෙන් ම තව ත් බොහෝ දේ ඊට ඇතුළත් බව ත් ජනාධිපතිවරයා කියා සිටියේ ය.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය තනි පුද්ගල අයිතියෙන් ඉවත් කර එය කොටස් වෙළෙඳපොළට යොමු කර මහජනතාවට ද කොටස් ලබා ගත හැකි ආකාරයෙන් සකස් කරන්නැයි එහි පරිපාලනයට දැන්වූ බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම හමුවේදී අනාවරණය කළේ ය.

එමෙන් ම මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ගෙන් අය කරන මුදල් සහනධායී ලෙස සංශෝධනය කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

ජනාධිපති බලතල සීමා කිරීමට හෝ අහෝසි කිරීමට තමන් සූදානම් බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ ය.

ඔහු කියා සිටියේ, ඇතැම් පිරිස් චෝදනා කරන ආකාරයට චීනයට හෝ ඉන්දියාවට මෙරට සම්පත් කිසිවක් තවමත් ලබා දී නොමැති බව ය.

– newsfirst.lk/sinhala/