SRILANKAN NEWS

ශ්‍රී ලංකාව තුළ ආර්ථික ස්ථාවර භාවයක් ඇතිව තිබේ – ඇමරිකානු කොංග්‍රසය

යහපාලන රජය යටතේ ගෙවී ගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ස්ථාවරභාවයකට පැමිණ ඇතැයි අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල සභික බිල් ජෝන්සන් මහතා ප්‍රකාශ කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක් ව රට පාලනය කිරීම සුවිශේෂී අවස්ථාවක් ලෙස දකින බවයි. ජෝන්සන් මහතා මේ බව කියා සිටියේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සමඟ ඊයේ (15) පැවැති හමුවක දී ය. හමුව මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු උතුරේ ද සංචාරයක නිරත වූ බිල් ජෝන්සන් මහතා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවේ කියා සිටියේ එම ප්‍රදේශවල ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ කටයුතු සේම සංවර්ධන කටයුතු ද සාර්ථක බවයි. තව දුරටත් උතුරේ ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු යමක් වේ නම් ඒ සඳහා ද රජය පියවර ගනු ඇතැයි තමා විශ්වාස කරන බව ද හෙතෙම කියා සිටියේ ය.