SRILANKAN NEWS

පුන්කුඩුතිව් සිසුවියගේ මව විසින් ජනපතිට ලිපියක්..

යාපනය කයිට්ස් පුංකුඩතිව්හි සමූහ දූෂණයට ලක් වී ඝාතනය කෙරුණු සිවලෝගනාදන් විද්‍යා දැරියගේ නඩුව කොළඹ අධිකරණයකදී විභාග නොකොට යාපනය අධිකරණයකදීම විභාග කොට අවසන් කරන ලෙස ඉල්ලා සිසුවියගේ මව විසින් ජනාධිපති වෙත ලිපියක් යවා තිබේ.

එහිදී, තම දියණියගේ ඝාතනය සම්බන්‍ධ නඩුව ඌර්කාවට්තුරයි අධිකරණයේ විභාග කර අවසන් වී ඇති හෙයින් එය කොළඹ මහධිකරණය වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බවට දැනගන්නට ලැබීමෙන් දැඩි කම්පනයට පත්වූ බව සඳහන් කර තිබේ.

පසුගිය 2015.05.06 වනදා යාපනයට පැමිණි ජනාධිපතිවරයා ඉකුත් නඩුව යාපනයේදීම Trial At Bar ක්‍රමය යටතේ විභාග කිරීමට පියවර ගන්නා බවට පොරොන්දුවූ නමුත් දැන් එම නඩුව කොළඹට ගෙන යෑම ගැන තමන් දැඩි කම්පනයට පත්වී සිටින බවද ඇය පවසා තිබේ.

කොළඹට පැමිණ නඩු විභාගවලට සහභාගිවීමේ අපහසුතාවය, ආර්ථික ප්‍රශ්ණය, සාක්‍ෂිකරුවන් කොළඹට පැමිණීමෙහි තිබෙන ගැටළු, හේතුවෙන් එම නඩුව යාපනයේදීම විභාග කිරීමට පියවර ගන්නා ලෙස ඇය ඉල්ලා තිබේ.

තවද කොළඹ අධිකරණවල සිංහල භාෂාවෙන් නඩු කටයුතු සිදු කිරීමෙන් දෙමළ භාෂාව පමණක් දන්නා තමන්ට හා සාක්‍ෂිකරුවන්ට අසාධාරණයක් සිදුවිය හැකි බවත්, මෙතෙක් ඌර්කාවට්තුරයි අධිකරණයේ පැවැති නඩු කටයුතු සියල්ල දෙමළ භාෂාවෙන් සටහන් කර ඇති හෙයින් එය යළි සිංහල භාෂාවට පරිවර්ථනය කිරීමෙන් කල් ප්‍රමාදයක් ඇති විය හැකි හෙයින් මෙය සියල්ල තම දියණියට ලැබිය යුතු යුක්තිය ප්‍රමාදවීමට හෝ යුක්තිය නොලැබිය හැකි වනු ඇතැයි සාධාරණීය බියක් ඇතිවී තිබෙන බැවින් අදාළ නඩු කටයුත්ත තවඳුරටත් යාපනයේදීම පවත්වාගෙන යෑමට පියවර ගන්නා ලෙස ඇය වැඩිදුරටත් සිය ලිපියෙන් ඉල්ලා තිබේ.