SRILANKAN NEWS

ඥානසාර හිමිගේ නඩුව ලබන මස 18 විභාගයට

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ඉදිරි නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන බවට උන්වහන්සේගේ නීතීඥවරයා අධිකරණය හමුවේ අද පොරොන්දු වුණා. ඒ අනුව උන්වහන්සේට එරෙහිව වරෙන්තු නිකුත් කරන ලෙස නීතිපතිවරයා ඉල්ලා සිටියත් අධිකරණය වරෙන්තු නිකුත් කළේ නැහැ. ඥානසාර ස්වාමීන් වහන්සේ අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවයි අභියාචනාධිකරණයේ දී අද විභාගයට ගැනුණේ.

පසුගිය වසරේ ජනවාරි 25 වනදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී අධිකරණයට අපහාස වන ආකාරයෙන් ක්‍රියාකළ බවට චෝදනා කරමිනුයි මෙම නඩුව පවරා ඇත්තේ. මෙහිදී ඥානසාර ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ටිරන්ත වලලියද්ද කියා සිටියේ ඥානසාර ස්වාමීන් වහන්සේට එල්ලවී ඇති තර්ජන හේතුවෙන් උන්වහන්සේ අධිකරණය හමුවේ පෙනී නොසිටින බවයි. ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇති බවද ඔහු කියා සිටියා. ඒ අනුව  ඥානසාර ස්වාමීන් වහන්සේට එරෙහි මෙම නඩුව ලබන මස 18/ 19 සහ 20 යන දිනවලදී විවාදයට ගැනීමට අධිකරණය දින නියම කළා.