SRILANKAN NEWS

රජය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවුනොත් නැවත පාරට බහිනවා – සමන්ත විද්‍යාරත්න

උමා ඔය ව්‍යාපෘතිය නිසා පීඩාවත් ජනතාව පසුගිය 28වනදා බණ්ඩාරවෙල නගරයේදී දැවැන්ත විරෝධතාවයක නිරත වූ අතර එදින දැවැන්ත කළු හර්තාලයක්ද ක්‍රියාත්මක විය.

එම විරෝධතාවය අතරතුර ඌව පළාත් ආණ්ඩුකාර ලේකම්වරයා මගින් ජනාධිපති ලේකම්කාර්යාලවෙන් ඊයේ (30) පස්වරු 6.00ට ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලිඛිතවම ලබා දුන් අතර එ් අනුව ඊයේ දින ජනාධිපති මන්දිරයේදී පස්වරු 6.55ට ආරම්භ කළ එම සාකච්ඡාව රාත්‍රී 8.45 වනතුරු පැවැත්විණි.

ඒ සඳහා ජනාධිපතිවරයා සමග ආණ්ඩුව නියෝජනය කරමින් අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, විජිත් විජතමුණි සොයිසා, හරීන් ප්‍රනාන්දු සහ ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතාත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාත් එක්වී සිටි අතර උමා ඔය බහුවිනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ නියෝජනය කරමින් එහි කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ පිරිසක් සහ බණ්ඩාරවෙල නීතිඥ සංගමයේ නීතීඥ මහතෙකු සහ බණ්ඩාරෙවෙල වෙළඳ මංගමයේ සභාපතිවරයා එක්වී තිබේ.

එහිදී විපතට පත්වූ ජනතාව වෙනුවෙන් වහාම වන්දි ලබාදීමටත් උමග නිසා ඇති වී තිබෙන පරිසර හානිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා විදේශීය තාක්ෂණික සහාය ලබා ගැනීමට කටයුතු කරන බවටත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

එමෙන්ම උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට වාර්තා කිරීම සඳහා අලුතෙන් පත් කළ කැබිනට් අනුකමිටුව විපතට පත් ප්‍රදේශවල සංචාරය කර සිදුව ඇති හානිය නිරීක්ෂණය කර අදාළ වාර්තා සැකසීමටත් එකඟවී තිබේ.

මෙහිදී ආණ්ඩුව නියෝජනය කරමින් පැමිණි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ජනාධිපතිවරයා අමතා ප්‍රකාශ කර ඇත්තේ “ජනාධිපතිතුමණි උමග පුපුරුවන්න ඕනා. නැත්නම් මේගොල්ලො මේ විරෝධතා නවත්වන්නේ නැහැ…” යනුවෙනි.

සාකච්ඡාව අවසන් වී මාධ්‍ය ඇමතූ උමා ඔය බහුවිනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු, ඌව පළාත් සභාවේ ජවිපෙ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කර සිටියේ තමන් ඇතුළු කණ්ඩායම ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සුභවාදී ප්‍රතිචාරයක් දැක්වූ බයි. කෙසේ නමුත් ඉදිරියේදී ප්‍රායෝගකව එය ක්‍රියාත්මක නොවුනොත් නැවත පාරට බහින්නේ මෙතුවක්කල් පාරට බැස්ස ආකාරයට නොවේ යැයිද අණතුරු අඟවා සිටියේ ය.