SRILANKAN NEWS

උමා ඔය ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු ගැන අවධානය යොමු කර තිබේ – ජනපති

උමා ඔය ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු ගැන අවධානය යොමු කර ඇති බවත්, ඒ ගැන සොයා බැලීමට නෝර්වේ විශේෂඥ කණ්ඩායම ලබන මස මුල් සතියේ දිවයිනට පැමිණෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු සියලු කාර්යයන්ට ප්‍රමුඛත්වය දෙමින් මෙම ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු පිළිබද සොයා බලන බවයි ජනාධිපතිතුමා පවසන්නේ.

උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් ප්‍රදේශයේ ජන ජීවිතයට ඇතිවී තිබෙන ගැටලු පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති නිල නිවසේදී පැවැත්වුණා. සිවිල් සංවිධාන නියෝජිතයන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා. අදාළ අමාත්‍යාංශවල නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් ගැටලු කඩිනමින් නිරාකරණයට පියවර ගන්නා බවයි ජනාධිපතිතුමා මෙහිදී කියාසිටියේ.

ස්වාධීන තාක්ෂණික විශේෂඥ කණ්ඩායමක් සමඟ සාකච්ඡාකර ජනතාවට මුහුණදීමට සිදුව ඇති පීඩාකාරී තත්ත්වය පහවයනතුරු ව්‍යාපෘතියේ කටයුතු තාවකාලිකය නතර කිරීමේ හාකියාව සොයාබලන බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා.

ව්‍යාපෘතිය පිළිබඳ ජර්මන් රජයේ විශේෂඥයෙකු මේ වනවිටත් අධ්‍යයනය කරමින් සිටින අතර ඔවුන්ගේ යෝජනා අනුව ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීමේ හැකියාව සොයාබලන බවද ජනාධිපතිතුමා පැවසුවා. මැතිඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්වුණා.