SPORTS

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශමින්ද එරංගගේ ක්‍රිකට් තහනම ඉවත් කරයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ශමින්ද එරංගගේ පන්දු යැවීමේ නව ඉරියව්ව නිවැරදි බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තහවුරු කර තිබේ.

පසුගිය වසරේ මැයි මස 31 වනදා එංගලන්තය සමග චෙස්ටර් ලී ස්ට්‍රීට්හිදී පැවති දෙවන ටෙස්ට් තරගයේදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බවට තීරණය කෙරුණි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව තීරණයත් සමඟ ශමින්ද එරංගට යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී පන්දු යැවීමට අවස්ථාව හිමිවේ.

ශමින්ද එරංගගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් චෙන්නායි නුවරදී පවත්වනු ලැබීය. එහිදී ඔහුගේ පන්දු යැවීම පිළිබඳ තීරණයට එළඹී ඇත.

ඔහුට පන්දු යැවීමට අවසර හිමිවුව ද සැක කටයුතු යමක් තිබේ නම් ඒ පිළිබඳ වාර්තා කිරීමට විනිසුරුවන්ට තවදුරටත් හැකියාව පවතින බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කර තිබේ.

එමෙන්ම ශමින්ද එරංගගේ පන්දු යැවීම පිළිබඳ වීඩියෝ දර්ශන සහ ඡායාරූප ද ක්‍රිකට් විනිසුරුවන්ට ලබාදීමට පියවර ගැනෙනු ඇත.

ඒ අනුව නව පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ විනිසුරුවන්ට අධ්‍යයනය කර ඒ සම්බන්ධ අවධානයෙන් පසුවිය හැකි බව ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කළේය.