WORLD NEWS

ට්‍රම්ප්ගේ අකැමැත්ත මැද රුසියාවට තහංචි!

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අකමැත්ත මධ්‍යයේ රුසියාවට නව සම්බාධක පැණවීමට එක්සත් ජනපදයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තීරණය කරයි.

ඇමරිකානු ජනාධිපතිවරණයේ දී මැදිහත් වූ බවට චෝදනා එල්ලවන රුසියානු ජ්‍යෙෂ්ඨ බලධාරීන් ඉලක්ක කර ගනිමින් මෙම සම්බාධක පැනවෙනු ඇත.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ගත් මෙම තීරණය හේතුවෙන් රුසියාව සමඟ නව සබඳතා ගොඩනගා ගැනීමට ජනාධිපති ට්‍රම්ප් දරන උත්සාහය තවත් සංකීර්ණ වීමට ඉඩ තිබේ.
රුසියාව කියා සිටියේ මෙම පියවර මගින් දෙරට අතර පවතින සබඳතා “සාමාන්‍ය තත්වයට” ගෙන ඒමට ඇති ඉඩ ප්‍රස්තාව විනාශ කර දමන බව ය.

කෙසේ නමුත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වැඩි ඡන්දයෙන් සම්මත කළ මෙම පනතට ජනාධිපතිවරයා අත්සන් තැබීමට පෙර සෙනෙට් සභාවේ අනුමැතිය ලබාගත යුතු වෙයි.
මේ පිළිබඳව ධවල මන්දිරය ප්‍රකාශ කර සිටියේ මෙම නව තහංචි පිළිබඳව විමර්ශනය කරමින් සිටින බව ය.

මෙම පනත ඉවත දැමීම සඳහා ජනාධිපති ට්‍රම්ප් සිය විධායක බලය පාවිච්චි කරනු ඇතිදැයි තවමත් පැහැදිලි නැති බව ද ධවල මන්දිරය ප්‍රකාශ කළේය. පසුගිය වසරේ පැවති ඇමරිකානු ජනාධිපතිවරණයට රුසියාව බලපෑම් කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජනපද බලධාරීහු පරීක්ෂණ පවත්වමින් සිටිති.

රුසියාව සමඟ සබඳතා පවත්වා ගැනීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑණනුවන් වන ජැරඩ් කුෂ්නර්, රහසිගත සන්නිවේදන මාර්ගයක් යොදා ගැනීමට උත්සාහ කර ඇති බව ඇමරිකානු මාධ්‍ය පසුගිය මැයි මාසයේ වාර්තා කර තිබිණි.

‘වොෂිංටන් පොස්ට්’ සහ ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත් විසින් වාර්තා කරනු ලැබ තිබුණේ රුසියාව සමඟ කෙරෙන සාකච්ඡාවලට එක්සත් ජනපද බලධාරීන් රහසින් සවන් දීම වැළැක්වීම සඳහා රුසියානු සන්නිවේදන පහසුකම් භාවිත කිරීමට ඔහු ප්‍රයත්නයක් දරා ඇති බව ය. තමන් සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් පළ කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට මාධ්‍ය වෙත චෝදනා කරයි.

ඇමරිකානු ජනාධිපතිවරණයට බලපෑම් කිරීම සඳහා හැකරුන් යොදා ගත් බවට පළ වන වාර්තා රුසියාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

– bbc.com/sinhala