නව දිශාවකට ගමන් කරමින් සිටින්නෙමු, ස්වයං තීරණ අයිතිය ලබා ජීවත්විය යුතුයි

“රටතුල ආණ්ඩු වෙනසක් සිදුකර, නව දිශාවකට අපි ගමන් කරමින් සිටිනවා එහිදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කර රටේ සමඟිය, සාමය ඇති කර දෙමළ ජනතාව ආත්ම ගෞරවයෙන් හිස ඔසවා නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් ඇති කළ යුතුයි“ යැයි විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා පැවැසීය.

ලෝක දෙමළ සංස්කෘතික සංවිධානය සහ යාපනය විශ්ව විද්‍යාලය එක්ව යාපනයේදී පවත්වන 13 වන ජාත්‍යන්තර සමුළුවේ දෙවැනි දින වැඩසටහන ඊයේ (6) දින පැවැත්වුණි. එහිදී ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.

“මෙරට දෙමළ ජනතාවගෙන් සියයට පනහකට වැඩි පිරිසක් අද මෙරටේ ජිවත්වන්නේ නැහැ, ලක්‍ෂ 15ක පමණ ජනතාව ලොව විවිද රටවල්හි ජීවත්වෙනවා. විශේෂයෙන් ප්‍රචණ්ඩ ක්‍රියාවන් හා හිංසාවන් හේතුවෙන් එම ජනතාව රට හැර ගොස් ජීවත්වෙනවා.

මෙවැනි තත්වයකදී දැන් රටේ ආණ්ඩු වෙනසක් සිඳුවී නව දිශාවකට අපි ගමන් කිරීමට උත්සහ කරමින් සිටිනවා, එනම් රටේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කර එමඟින් රටේ සමඟිය හා සාමය ඇති කළ යුතුයි. එයට සියළු දෙනාගෙම් දායකත්වය තිබිය යුතුයි.

දෙමළ ජනතාව වශයෙන් ශ්‍රී ලංකාවේ ජීවත්වන දෙමළ ජනතාව ස්වයං තීරණ අයිතිය සහිත ආත්ම ගෞරවයෙන් සම අයිතිවාසිකම් ලබා මෙරට තුළ ජීවත්විය හැකි තත්වයක් උදාකළ යුතුයි. එවැනි පරිසරයක් ඇති කිරීමේ වගකීම අප සියළු දෙනාටම තිබේ. අපි සියළු දෙනාම ද්‍රවිඩයන්ය. අපි අසාධාරණ ලෙස කිසිවක් ඉල්ලා නොසිටිය යුතුයි. නමුත් සාධාරණීයව, නීතිමය අයුරින් අප අයිතිවාසිකම ප්‍රජා අයිතිය ලබාගත යුතුයි. එය ලබා ගැනීමට ඔබ සියළු දෙනාම සහාය විය යුතුයි“ යැයි සම්බන්‍ධන් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top