WORLD NEWS

උ.කොරියාව ඇමෙරිකාවට පහරදීමට සැලසුම් සකසයි

බටහිර පැසිෆික් කලාපයේ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපදයේ හමුදා ස්ථාපිත කර සිටින ගුවාම් දූපත වෙත මිසයිල ප්‍රහාර දියත් කිරීමට සූදානමින් සිටින බව උතුරු කොරියාව අනතුරු අඟවයි.

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් උතුරු කොරියාවට දැඩි පහරදීමකට සූදානම් වන ලෙස අනතුරු අඟවා පැය කිහිපයකින් පසුව උතුරු කොරියාව මෙම නිවේදනය කර තිබේ.

උතුරු කොරියාවේ නිල පුවත් ඒජන්සිය පවසා සිටියේ ඇමෙරිකානු ප්‍රහාරක යානා ස්ථාපිත කර ඇති ගුවාම් වෙත මැදි දුර හා දිගු දුර රොකට් ප්‍රහාරයක් එල්ල කිරීමට තමන් සූදානම් වන බවයි.

ඇමෙරිකාව හා උතුරු කොරියාව අතර මෑතකාලයේ පවතින උණුසුම්කාරී වාතාවරණයේ උච්චතම අවස්ථාවක් ලෙස දේශපාලන විචාරකයෝ මෙය හඳුන්වති.

උතුරු කොරියාවේ නවතම දිගුදුර බැලස්ටික් මිසයිල තුළ සවිකළ හැකි න්‍යෂ්ටික අවි ඔවුන් සතුව ඇති බවට බුද්ධි අංශ අනාවරණය කිරීමත් සමග ඇමෙරිකානු ජනාධිපතිවරයා උතුරු කොරියාව වෙත මෙම තර්ජනය සිදුකළ බව කියැවෙයි.

ඒ අනුව, උතුරු කොරියානු හමුදා මේ වනවිට ඔවුන්ගේ මැදි දුර හා දිගු දුර හව්සොන්ග්-12 බැලස්ටික් මිසයිල යොදා ගනිමින් ඇමෙරිකානු දූපත වෙත පහරදීම සඳහා සිය සැලසුම් සකස් කරමින් සිටින බව එරට පුවත් වාර්තා පවසයි. එමෙන්ම, මෙම සැලැස්ම සම්පූර්ණයෙන් විමර්ශණය කිරීමෙන් අනතුරුව එය ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ හමුදා අණදීම වෙත වාර්තා කරන බවත්, පසුව ජනපති කිම් ජොන්ග්-උන්ගේ අණ පරිදි එය ක්‍රියාත්මක කරන බවත් උතුරු කොරියානු මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

http://www.channelnewsasia.com/image/8883216/0x0/1600/900/cf20ddaa6fabc06350f7f189f9bcb6f6/Hw/north-korea-missile-range-graphic.png