මවක් තම පුතාව ආරක්‍ෂක අංශයට භාරදී තිබුණේ නම් ඔහුට සිඳුවුයේ කුමක්දැයි දැන ගැනීමේ අයිතියක් තිබේ

සංචාරයක් සදහා මෙරටට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයෙකු වන පබ්ලෝ ඩි ග්රේෆ් (Pablo de Greiff) සහ විපක්‍ෂ නායක හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්‍ධන් මහතා අතර ඊයේ (21) දින සාකච්ඡා හමුවක් පැවැත්ව තිබේ.

එහිදී ඉඩම් නිදහස් කිරීම, අතුරුදන්වූවන්, සහ දෙමළ දේශපාලන සිරකරුවන් ඇතුළු දෙමළ ජනතාව මුහුණ දෙන ගැටළු සම්බන්‍ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයාගේ අවධානයට යොමු කර තිබේ.

ඉඩම් නිදහස් කර ගැනිම සම්බන්‍ධයෙන් ජනතාව ඇතැම් ප්‍රදේශවල දින 300කට වැඩි කාලයක් උද්ඝෝෂණවල නිරතව සිටින බවද සම්බන්‍ධන් මහතා පෙන්වාදී තිබේ. තවද මවක් තම පුතාව හමුදාව හෝ පොලිසිය වෙත භාරදී තිබුණේ නම් ඔහුට සිඳුවුයේ කුමක් දැයි දැන ගැනීමේ අයිතිය තිබෙන බවත්, එම අයිතිය ප්‍රතික්‍ෂේප කළ නොහැකි බවද අවධාරණය කර තිබේ.

අතුරුදන්වූවන් සඳහා පිහිටුවන ලද කාර්‍යාලයේ වැඩ කටයුතුවල ප්‍රමාදය ගැන කරුණු පැහැදිළි කළ සම්බන්‍ධන් මහතා එම කාර්‍යාලය උතුර හා නැගෙනහිර පළාත්වල ද පිහිටුවිය යුතු බව පවසා තිබේ.

මෙරට යුධ සමයෙන් පසු යුක්තිය හා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා ඇති බාධාවන් හඳුනා ගැනීම , මෙතෙක් සිදු කර ඇති ප්‍රගතිය සමාලෝචනය කිරීම මෙන්ම රජයේ මැදිහත්වීම පිළිබඳව අවධානය යොමු කිරිම පබ්ලෝ ඩි ග්රේෆ් මහතාගේ මෙම සංචාරයෙහි අරමුණ වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top