ගෝඨාභය රාජපක්‍ෂට එරෙහි අතුරු තහනම තවදුරටත්

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ පරීක්‍ෂණ පැවැත්වීමෙන් හා ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමෙන් වලකින ලෙස පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලබා දී තිබූ නියෝගය ලබන ජනවාරි 25 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (15) නියෝග කර ඇත.

වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහු චෝදනා ලැබ සිටියි.

මෙම තහනම් නියෝගය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් නීතීපතිවරයා විරෝධතා ඉදිරිපත් කළත් නිකුත් කොට තිබු අතුරු තහනම් නියෝගය දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ගොනුකර තිබු පෙත්සම විභාග කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසිනි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති පුජිත ජයසුන්දර මහතා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශානී අබේසේකර මහතා ඇතුළු පස් දෙනෙකු නම් කොට ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top