ශල්‍ය උපකරණ මිල අඩු කිරීමට රජය තීරණය කරයි..

රෝගීන් සඳහා ලබාදෙන අත්‍යාවශ්‍ය ඖෂධ මිල අඩු කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව ශල්‍ය උපකරණවල මිල ද අඩු කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව පළමු අදියර යටතේ අක්ෂි කාච මිල අඩු කිරීමට සැළසුම් කර තිබේ. දැනට අක්ෂි කාච මිල ගණන් පිළිබඳව රෝගී ජනතාවගෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. දැනට රජයේ රෝහලට අක්ෂි සායන සදහා පැමිණෙන රෝගීන්ට අවශ්‍ය අක්ෂි කාච ලක්ෂයක් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් නොමිලයේ ලබාදී තිබේ.

නමුත් පෞද්ගලික රෝහල්වලට පැමිණෙන රෝගීන්ට අධික මිල ගණන් යටතේ අක්ෂි කාච අලෙවි කරන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

ඇතැම් අක්ෂි කාච ඉන්දියාවෙන් රුපියල් 6,000 කට පමණ ආනයනය කර රෝගීන්ට රුපියල් 25,000 කට පමණ අලෙවි කරන බව හෙළි වී තිබේ.

අක්ෂි කාච මිල නියාමනය කිරීම තුළින් අක්ෂි කාචයක් රුපියල් 10,000 කට පමණ අලෙවි කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටි. ශල්‍ය උපකරණ මිල අඩු කිරීමේ ක්‍රමවේදය ද සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ජාතික ඖෂධ නියාමන අධිකාරියට උපදෙස් ලබාදී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top