ඇමරිකාවට සහාය ලබා දෙන්නේ නම් සම්බාධක ඉවත් කරනවා – ඩොනල්ඩ් ට්‍රම්ප්

ඇමරිකානු ජනාධිපතිවරණයට බලපෑම් සිදු කළ බවට එල්ල වූ චෝදනා මත රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක තමන් විසින් ඉවත් කරනු ලැබීමට ඉඩ ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ත්‍රස්තවාදයට එරෙහිව ගෙන යන සටනට සහ සෙසු වැදගත් ඉලක්ක වෙත ළඟා වීම සඳහා මොස්කව් පාලනය ඇමරිකාවට සහාය ලබා දෙන්නේ නම් රුසියාවට එරෙහිව පනවන ලද සම්බාධක ඉවත් කිරීමේ හැකියාවක් පවතින බව ඇමරිකාවේ ජනාධිපති ධුරය සඳහා තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ‘ද වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත්පතට පවසා තිබේ.

රුසියානු ජනාධිපති වැල්ද්මීර් පුතින් සමග හමුවක් සංවිධානය කෙරෙනු ඇති බවටත් ඩොනල්ඩ් ට්‍රම්ප් බලාපොරොත්තු පළ කරයි.

පසුගියදා පැවති ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඡන්දදායකයන්ට බලපෑම් කිරීම සඳහා සයිබර් ප්‍රහාර සිදු කළ බවට ඇමරිකානු බුද්ධි අංශ මොස්කව් පාලනයට චෝදනා කළ අතර ඒ සමග රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමට ඇමරිකාව කටයුතු කළේය.

මේ අතර ට්‍රම්ප්ගේ වෘත්තිමය ජීවිතයේ සහ පෞද්ගලික ජීවිතයේ රහසිගත තොරතුරු රුසියාව සතුව ඇති බවට පසුගියදා තහවුරු නොකරන ලද වාර්තා පළ විය.

– bbc.com/sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top