නව ව්‍යවස්ථාව: අපේ වගකීම ඉටු කළා – සුමන්තිරන්

sumanthiran- සුමන්දිරන්ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ දෙමළ ජාතික සන්ධානය වෙත පැවරී ඇති වගකීම්වලින් සියයට අනූවක් පමණ ඉටු කොට අවසන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්තිරන් පවසයි.

දෙමළ ජාතික සන්ධානය පමණක් නොව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් පත් කර තිබෙන පාර්ලිමේන්තු කමිටු විසි එක සහ අනු කමිටු හතද සිය කටයුතු සැලකිය යුතු ප්‍රමාණයකින් අවසන් කොට ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ වව්නියාවේ පැවති ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභා කමිටු රැස්වීමක් අමතමිනි.

ඉදිරි මාස දෙක ඇතුළත නව ව්‍යවස්ථා සංශෝධනයේ මූලික කෙටුම්පත එළි දැක්වීමට හැකි වෙතැයි තමන් විශ්වාස කරන බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයා පවසයි.

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ගන්නා ලද තීරණ අදාළ කමිටු විසින් එළිදක්වනු නොලබන්නේ ඇතැම් පාර්ශව එම කරුණු තම දේශපාලන වාසි සඳහා යොදා ගෙන රට තුළ අනවශ්‍ය ගැටළු නිර්මාණය කිරීමට උත්සාහ ගන්නා බැවින් යැයිද ඔහු කියා සිටියේය.

ජනාධිපතිවරයාගේ විධායක බලතල ඉවත් කිරීම, බලය බෙදාහැරීම හා මැතිවරණ ක්‍රමය ඇතුළු යෝජනා ගණනාවක් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සඳහා ඇතුළත් වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්තිරන් වැඩිදුරටත් පැවසීය.

bbc.com/sinhala

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top