SRILANKAN NEWS

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කොට වසර 17යි

යාපනයේදී ඝාතනයට පත්වූ මාධ්‍යවේදී නිමලරාජන්ගේ 17 වැනි සැමරුම් උත්සවය අද (19) දින පැවැත්වුණි. යාපනය මාධ්‍ය මධ්‍යස්ථානය විසින් අද සවස 4ට පමණ යාපනය අධිකරණ පරිශ්‍රය අසල පිහිටි නිමලරාජන්ගේ ස්මාරකයට මල් වඩම් දමා සැමරුම් උත්සවය පවත්වන ලදි.

යුද්දය පැවැති සමයේ එඩිතරව මාධ්‍යවේදියකුගේ වගකීම ඉටුකළ මයිල්වාහනම් නිමලරාජන්, බීබීසී දෙමළ හා සිංහල සේවය, වීරකේසරි සහ රාවය පුවත්පත්වල කටයුතු කර තිබේ.

2000 වසරේ ඔක්තෝබර් 19 දින ඇඳිරි නීතිය පනවා ඇති රැයක යාපනයේ අධි ආරක්ෂිත කලාපයක් තුළදී නිමලරාජන්ගේ නිවසට ඇතුල්වූ ආයුධ සන්නද්ධ පිරිසක්, ඔහුට වෙඩි තබා ඝාතනය කර තිබුණි. එහිදී ඔහු විසින් ලියමින් සිටි ලිපිය මතම වැටී ඔහු සිය අවසන් හුස්ම හෙලු බව පැවැසේ. ඝාතකයින් නිමලරාජන්ට වෙඩි තබා එතැනින් පිටව යාමට පෙර නිවසට එල්ල කළ බෝම්බ ප්‍රහාර කිහිපයකදී නිමලරාජන්ගේ පියා සංගරපිල්ලයි මයිල්වාහනම්, මව ලිල්ලි මයිල්වාහනම් සහ බෑණා වන ජෙගදාස් ප්‍රසන්නා බරපතල ලෙස තුවාල ලැබූහ.

ඉකුත් ඝාතන සිද්ධිය සිඳුවී අදට වසර 17ක් ගතවූ නමුත් මෙතෙක් ඔහුගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගෙන නොමැති අතර, නිසි පරීකෂණයක් ද පවත්වා නොමැත.

නව රජයක් පිහිටවූ පසුද ඝාතනයට ලක්වූ දෙමළ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක්‍රියාකාරුවන් ගැන කිසිඳු පරීක්‍ෂණයක් නිසිලෙස ක්‍රියාත්මක කර නොමැතිවීම විශේෂත්වයකි.