SRILANKAN NEWS

ලංකාවාසී ඔබට සෞභාග්‍යයෙන් සපිරි නිදුක් නිරෝගී නව වසරක් වේවා – ජනපති

ලංකාවාසී ඔබට සෞභාග්‍යයෙන් සපිරි නිදුක් නිරෝගී නව වසර වේවායි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නව වසර වෙනුවෙන් සුභපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සම්පූර්ණ පණිවුඩය

අතීතයට එක්වෙමින් ගතව යන සෑම මොහොතක්ම අපව දැනුමෙන් හා අත්දැකීමෙන් පරිපූර්ණත්වයට ළඟා කරන අතර උදාවන සෑම මොහොතක්ම අපගේ අභියෝගාත්මක හැකියාවන් විනිශ්චයන්ට බඳුන් කරන්නේය.

ගෙවීයන වසරට අප සමුදිය යුත්තේද, එළැඹෙන වසර අපේක්ෂා සහගතව පිළිගත යුත්තේද එකී දැක්ම පෙරදැරි කරගෙනය.

ඒ අනුව ගතවූ වසර සැලකිය හැක්කේ රටක් ලෙස අපට සාධනීය අපේක්ෂාවන් අපමණක් සාක්ෂාත් කරගත හැකි වූ වසරක් ලෙසටය. එමෙන් ම අප 2018 වසරට පිවිසෙන්නේ ද නිසැකවම ජයගත යුතුව ඇති අභියෝග රැසක් ද සමගය. රටක් ලෙස අත්පත් කරගත යුතුව ඇති සමාජ සංහිඳියාව, පරිපූර්ණ කළ යුතු මානව නිදහස මෙන් ම ධරණීය අවකාශයේ තවදුරටත් ප්‍රවර්ධනය කරගත යුතුව ඇති ශ්‍රී ලංකාවේ දිදුලන ප්‍රතිරූපය ඒ අතර ප්‍රමුඛ වේ. නව වසර උත්කර්ෂවත් එළැඹුමක් බවට පත්කළ හැකිවනු ඇත්තේ ඒ සඳහා වන අපගේ අධිෂ්ඨානය හා කැපවීම මතය.

එසේම නව වසර එළැඹෙන්නේ, දේශයේ සංවර්ධන ක්‍රියාවලියේ සමෘද්ධිමත් සමාරම්භයක් සලකුණු කරන, ශ්‍රී ලාංකීය වාරි විස්මිතයේ මහා ප්‍රාතිහාර්යය ජනගත කෙරෙන අසිරිමත් කඩඉම අභිමුවේදීය.

මොරගහකන්ද ජලාශයේ නීල දියවරින් කෙත්බිම් ඉසුරුමත් වන, දේශයම සුවපත් වන දහසකුත් අනාගත අපේක්ෂා දැල්වෙන අරුමැසි හෝරාවක සමස්ත ශ්‍රී ලංකාවාසී ඔබට සෞභාග්‍යයෙන් සපිරි නිදුක් නිරෝගී නව වසරකට සුභපතමි.

මෛත්‍රීපාල සිරිසේන
ජනාධිපති