SRILANKAN NEWS

සමන්ත ඌවේ මහ ඇමතිගෙන් මිලියන 500ක් ඉල්ලයි

ඌව පළාත් මහ ඇමතිවරයා විදුහල්පතිනියක දණ ගස්සවා වන්දවා ගැනීම සම්බන්ධයෙන් හෙළි දරව් කිරීමෙන් පසු තමන් මහ ඇමතිවරයාට අපහාස කළේ යැයි පවසා පොලීසියට පැමිණිලි කර තමන් වෙත එවනලද එන්තරවාසියම උපයෝගී කරගනිමින් සමන්ත විද්‍යාරත්න මහතා විසින් හරස් ඉල්ලීමක් යොමු කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

යම් අයෙකු තවත් අයෙකුට එන්තරවාසියට ඉදිරිපත් කළ පසු එම එන්තරවාසියේ කරුණු සාවද්‍යනම් එම එන්තරවාසිය මගින් චූදිත වන තැනැත්තාට අපහාස සිදුවීම මත පදනම්ව එය යොමු කළ තැනැත්තාගෙන් වන්දි ඉල්ලීමට ඇති නීති ප්‍රතිපාදන මත පදනම්ව මෙම හරස් ඉල්ලීම යොමු කිරීමට කටයුතු කරමින් ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමන්ත විද්‍යාරත්න මහතා පවසා සිටියේ මේ වනවිටත් ඊට අදාළ හරස් ඉල්ලීම සැකසීමේ කටයුතු නීතීඥ කණ්ඩායමක් විසින් සිදු කරමින් සිටින බවයි.

සමන්ත විද්‍යාරත්න මහතා තවදුරටත් පවසා සිටියේ තමන්ට එරෙහිව මහ ඇමතිවරයාගේ ගොනු කරන නඩුවෙන්ම මහ ඇමතිවරයා වගඋත්තරකරුවෙක් කර වන්දි අයකරගැනීමට කටයුතු කරන බවය.

මේ වනවිට මහ ඇමතිවරයාට අධ්‍යාපන ඇමති ධුරයෙන් ඉවත්වීමට සලස්වා ඇතිවී තිබෙන තත්වය සමනය කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බවට චෝදනා කරණ සමන්ත විද්‍යාරත්න මහතා වැඩිදුරටත් අවධාරනය කරන්නේ, “අපි දන්නවා මහින්ද රාජපක්ෂ පාලන සමයේ පුත්තලම නවගත්තේගම පාසලක ගුරුවරියක් දණ ගැස්සවූ පළාත් සභා මන්ත්‍රීවරයට විරුද්ධව සමාජය තුළින්, වෘත්තීයසමිති තුළින් දැඩි විරෝධයක් එල්ලවීමත් මත එම මන්ත්‍රීවරයාව මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට එවකට බලයේ සිටි මහින්ද රාජපක්ෂ පාලනයට සිදු වුනා. ඔහු අත්අඩංගුවට පත් වුනා.

මේ තියෙන්නේ යහපාලනය. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා යහපාලනය ගෙනාවේ මහින්ද රාජපක්ෂ පාලනයේ සිදුවීම් නැවත සිදු නොකරන බව කියමින්. නමුත් ඊට වඩා බරපත් සිදුවීම් තමයි දැන් සිදුවෙමින් තිබෙන්නේ. මේ දණ ගැස්සුවේ ගුරුවරියක් නෙවෙයි. විදුහල්පතිවරියක්. ඇය දෙමළ ජාතික කාන්තාවක්. මහ ඇමතිවරයාට වඩා වැඩිමහල් අයෙක්. මහ ඇමතිවරයාට වඩා අධ්‍යාපන සුදුසුකම් තියෙන අයෙක්. ඇය වැන්දඹු කාන්තාවක්. එවැනි තැනැත්තියකට මරණ බිය ඇති කොට වන්දවා ගැනීම බරපතල වරදක්. මේ වරදට ප්‍රධාන හවුල්කරුවෝ වෙලා ඉන්නවා ඌව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල සහ ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ පියදාස රත්නායක කියන නිලධාරීන්. සාගින්නෙන් ඉන්න ව්‍යාග්‍රෙයකුට ගොදුරක් ලබා දෙන්නා සේ තමයි මේ නිලධාරීන් දෙපල ඇයව මහ ඇමතිවරයාගේ නිල නිවාසයට කැඳවන්නේ. ඒක බරපතල වරදක්.

අපි කියනවා ජනාධිපති තුමා යහපාලන කඩුව අතට අරගෙන ඉන්නවානම් ප්‍රධාන අමාත්‍යවරයාව ධුරයෙන් පහ කළ යුතුයි. වහාම ඔහු අත්අඩංගුවට ගත යුතුයි. පෙර කී නිලධාරීන්ට විනය ක්‍රියාමාර්ග ගත යුතුයි. ස්වාධීන විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. නැතහොත් ඉදිරියේදී පක්ෂ භේධයකින් තොරව රාජ්‍ය සේවකයන් මෙන්ම ඌව පළාත් ජනතාවද පාරට බැසීම වලක්වන්න කිසිම ජගතෙකුට බැහැ කියන එකත් අපි කියනවා.”

– ලංකා ටෘෘත් –