SRILANKAN NEWS

රනිල්-මෛත්‍රී-මහින්ද කණ්ඩායමට රාජ්‍ය සේවකයින්ගෙන් ඡන්දය ඉල්ලන්න අයිතියක් නැහැ – ටිල්වින් සිල්වා

රාජ්‍ය සේවය දියකර හැරීමට කටයුතු කළ රනිල්-මෛත්‍රී-මහින්ද කණ්ඩායමට රාජ්‍ය සේවකයින්ගෙන් ඡන්දය ඉල්ලන්න අයිතියක් නැති බවත් 2017 නොවැම්බර් දක්වා ජීවන අංක වැඩිවීමට අනුව රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 5,967කින් වැඩිවිය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ බත්තරමුල්ල, පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (22) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

“මේ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ, එජාපය, මෛත්‍රීගේ කණ්ඩායම සහ මහින්ද රාජපක්‍ෂගේ අලුත් පක්‍ෂය මැතිවරණයට ඉදිරිපත් වෙලා තිබෙනවා. පසුගිය වසර තුන කාලය තුළ එක්සත් ජාතික පක්‍ෂය සමඟ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එකට රට පාලනය කළා. මහින්ද රාජපක්‍ෂලත් මීට පෙර රට පාලනය කළා. මැතිවරණයට තරග කරන ප‍්‍රධාන කණ්ඩායම් 4ක් වුණාට ඇත්තටම ඉන්නේ කණ්ඩායම් දෙකයි. රාජ්‍ය සේවය කප්පාදු කරපු, රාජ්‍ය සේවකයින් මර්දනය කරපු, අයිතීන් ලබා නොදීපු රනිල් මෛත්‍රී මහින්ද කණ්ඩායම් එක පැත්තක ඉන්නවා. අනෙක් පැත්තෙන් ඉන්නේ රාජ්‍ය සේවය ආරක්‍ෂා කිරීමට කටයුතු කරපු, රාජ්‍ය සේවකයින්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන ඔවුන්ගේ අයිතීන් දිනා දෙන ජනතා විමුක්ති පෙරමුණයි.

මීට කලින් රට පාලනය කරපු පාලකයින් රාජ්‍ය සේවය කප්පාදු කරන්න, දියකර හරින්න කටයුතු කළා. එක්සත් ජාතික පක්‍ෂය රාජ්‍ය සේවය මුළුමනින්ම අහෝසි කරන්න උත්සාහයක හිටියා. ඔවුන් විශ්වාස කළේ අපේ රටේ පොලීසිය සහ හමුදාව පමණක් රාජ්‍ය සේවකයින් ලෙසයි.

මේ ආකාරයට රාජ්‍ය ආයතන දියකරහරින්න ආණ්ඩු උත්සාහ කරපු හැම උත්සාහයක්ම පරාජයට පත්කළේ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතිවල මැදිහත්වීමෙන්. ඒ නිසා වැඩකරන ජනතාවට තොරගන්න තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණයි. රනිල් වික‍්‍රමසිංහට, මෛත්‍රීපාල සිරිසේනට, මහින්ද රාජපක්‍ෂට රාජ්‍ය සේවකයින්ගෙන් ඡන්ද ඉල්ලන්න අයිතියක් නැහැ.“ යැයි ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් පවසා සිටියේය.