SRILANKAN NEWS

පාදයාත්‍රාවේ ගිය දරුවෙකු ගැන විමර්ශනයක්

 

කුඩා ළමයෙකු දේශපාලන කටයුතු සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බව ළමා ආරක්ෂණ අධිකාරීය පවසයි. එම අධිකාරීයේ මාධ්‍ය ප්‍රකාශක එදිරිවීර ගුණසේකර මහතා කියා සිටියේ අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට අපේක්ෂා කරන බවයි.

පසුගියදා පැවති දේශපාලන පාගමනකදී කුඩා දරුවෙකු යොදාගෙන ඇති බවට පැමිණිල්ල මගින් චෝදනා කර ඇති බව එදිරිවීර ගුණසේකර මහතා කියා සිටියේය.

මෙහිදී ළමා අපයෝජනයක් සිදුවී ඇත්ද නැද්ද යන්න පිළිබඳ කිවහැක්කේ විමර්ශනය කිරීමෙන් පසුව බවත්,මේවන විට විමර්ශන ආරම්භ වී ඇති බවත් ගුණසේකර මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් මෙය එක සංසිද්ධියක් බවත්, මෙවන් වැඩසටහන් සඳහා දරුවන් යොදාගැනීමෙන් දරුවාගේ මනසට බලපෑමක්, පීඩනයක් සිදුවිය හැකි බවත් ඔහු පෙන්වාදුන්නේය.

පසුගියදා ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කොට පවත්වනු ලැබූ පාදයාත්‍රාවේ සිටි කුඩා දරුවෙකු කියමින් ගිය නුසුදුසු සටන්පාඨයක් සම්බන්ධයෙන් මාධ්‍යයේ අවධානය යොමුවී තිබුණි.

මේ අතර, ඒකාබද්ධ විපක්ෂයේ ජනසටන පාද යාත්‍රාවේදි දරුවෙකුට තියෙන හැගීම පළකිරීමට කිසිතැනක තහනම් කර නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, “දරුවෙකුට තියෙන හැගීම පලකරන්න තහනමක් තියේ කියලා කොහේවත් කියලා නැහැ.අම්මා තාත්තා එක්ක ඒ දරුවා ඇවිල්ලා අදහස් පල කලා කියලා ඒක නවත්වන්න බැහැ.

ඒක කවුරුහරි කියල කරපු දෙයක්නම් තමයි වරද.එහෙමවෙයි කියලා අපි හිතන්නෑ.අපි මන්ත්‍රිවරු ගොඩක් පාගමනේ හිටියා.ඒ දරුවා වැරදි දෙයක් කියලද?ආප්පයා ගෙදර යවන්න කියලා කවුරු ගැනද ඒ කියන්නේ?ආප්පයා කියලා කවුරුහරි ඇති.ඒ ළමයා දන්න කවරුහරි කෙනෙක් ඇති.”යනුවෙන් පවසා සිටියේය.

– ග්ලෝබල් දෙමළ පුවත් –