SRILANKAN NEWS

ජ.වි.පෙ. නායක අනුර දිසානායක මහතාගේ අලුත් අවුරුදු පණිවිඩය

(ග්ලෝබල් දෙමළ පුවත් – සිංහල)

ලාංකේය ජනතාවගෙන් විශාලතම කොටස වන සිංහල දෙමළ ජනතාව විසින් 2018 අප්‍රේල් 14 දින මහත් උත්සවාකාරයෙන් සමරනු ලබන ‘අලුත් අවුරුද්ද’ නම් වූ සංස්කෘතික උත්සවය වෙනුවෙන් සුභාශිංසන එක්කරනු කැමැත්තෙමු.

අලුත් අවුරුද්ද සෑම අතකින්ම අලුත් බව හා බැඳේ. සාම්ප‍්‍රදායික ජ්‍යෝතිෂය විශ්වාසය අනුව සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට මාරු වෙමින් චක‍්‍රයක් සම්පූර්ණ කිරීම නව වසරක උදාව ලෙස සැලකෙන අතර සාම්ප‍්‍රදායික කෘෂිකාර්මික ජීවන රටාව තුළ නව අස්වනු ගෙට ගැනීමෙන් පසු ලැබෙන විවේකය තුළ පවත්වන සංස්කෘතික මංගල්‍යයක් ලෙසද එය හඳුනා ගැනේ. එබැවින් සිංහල දෙමළ අලූත් අවුරුද්ද මෙරට අති බහුතර ජනතාවකට ජීවිතය නැවුම් බවකින් පුරවා ගැනීමට මෙන්ම මෙතෙක් ආ ජීවන ගමන දෙස අලුතින් සිතා බැලීමටද පොළඹවන වැදගත් සමාජ සංසිද්ධියක් නිර්මාණය කරයි.

කෙසේ වුවද පසුගිය වසර 70 පුරාවටම ශ‍්‍රී ලංකාවේ පැවති ආණ්ඩු කිසිවක් බහුතර ජනතාවට සිය ජීවිත සැබෑ ලෙසම අලූත් කරගැනීමට අවස්ථාවක් ලබා දී නැත. ඔවුනට නව වසරට පා තැබීමට සිදුව ඇත්තේද තමන් එතෙක් කලක් පෙළෙමින් සිටි ගැටලුවලට විසඳුම් ලැබීමෙන් තොරවය. ජනතාව නව අපේක්ෂාවන් සහිතව නව වසරකට සූදානම් වෙද්දී මෙම ආණ්ඩු ලාංකේය සමාජය එකම දුෂ්ට චක‍්‍රයක ගමන් කරවමින් සිටී.

විනාශකාරී ගමනක මෙතෙක් රට රැගෙන ආ සහ තවමත් රැගෙන යමින් ඇති නව ලිබරල්වාදී දුෂ්ට ආර්ථික ක‍්‍රමය හැරෙන්නට මෙම ආණ්ඩුවලට වෙනත් ගමනක් නැත. එසේම ජනතාවට නව ජීවිතයක් ලබාදීම සඳහා වන ආර්ථික උපායමාර්ගයක්ද මෙම පාලකයින් සතුව නැත. දෛනික ආර්ථික අර්බුදය මැද ඔවුහු රාජ්‍ය දේපළ, ස්වභාවික සම්පත් විදේශයන්ට හා විදේශීය සමාගම්වලට පැවරීමෙන් තාවකාලික විසඳුම් සොයති; ජනතාව මත බදු මත බදු පටවමින් ජනතාවගේ සාක්කුවේ ඇති අවසන් රුපියලද එකතු කිරීමේ මාර්ග සොයති. ඒ, මේ පාලකයින් විසින් සෑම පුරවැසියෙකුම ලක්ෂ පහකට ආසන්න ණයකරුවෙකු කර රට රුපියල් කෝටි දසලක්ෂයකට ආසන්න ණය බරක ගිල්වා දමා තිබියෙදීය. අද එම බර ගෙවීමේ වගකීම පටවා ඇත්තේ ඊට වගකිව යුතු නැති පොදු ජනතාව මතය.

ආර්ථික අර්බුදය මැද ගොඩනැගෙන හවුල් ආණ්ඩුවේ දේශපාලන අර්බුදයද අද ජනතාව හමුවේ නාට්‍ය ජවනිකා ලෙස දිගහරිනු ලැබෙමින් තිබේ. ජනතාවට බල කෙරී ඇත්තේ තමන් පෙළන ගැටලු අමතක කර මේ හාස්‍යජනක ජවනිකා බලමින් සතුටු වීමටය. අනෙක් අතට වංචා – දූෂණවලට, මිනිස් ඝාතනවලට, මහා පරිමාණ සොරකම්වලට වගකිව යුතු පැවති පාලනයන්ට සම්බන්ධ කොටස් ඒ සියල්ල යටපත් කර ගැනීම වෙනුවෙන් ඉක්මනින් බලයට පැමිණීමට මාර්ග සොයමින් සිටිති. ජාතිවාදය වපුරමින් නැවතත් ලාංකේය සමාජය ලේ ගංගාවක ගිල්වීමේ කූට උත්සාහයක්ද ක‍්‍රියාත්මකය.

මේ සියල්ල මැද ගැඹුරටම ඇදෙමින් ඇති සමාජ ආර්ථික දේශපාලන අර්බුදය මැද අලුත් අවුරුද්දේ තම ජීවිත හා තම දරු පවුල් සම්බන්ධ නව බලාපොරොත්තු ජනතාවගෙන් දුරස් වෙමින් තිබේ. කෙතරම් එකිනෙකට සුබ පතා ගත්තද අලුත් අවුරුද්ද සුබවීමේ ඉඩක් නැත්තේ මෙම තත්වය තුළය. විශේසයෙන් පසුගිය කාලය පුරාවටම අලුත් අවුරුදු කාලය තුළ එකිනෙකා සමග හුවමාරු කරගන්නා ලද සුභ ප‍්‍රාර්ථනා එලෙසින් ඉටු නොවීමේ හේතු ජනතාව විසින් ගැඹුරින් සොයා බැලිය යුතුව තිබේ. තමන් පෙළමින් ඇති ගැටලු සැබෑවටම විසඳීම සඳහා රට රැගෙන යමින් ඇති දුෂ්ට චක‍්‍රයෙන් මුදාගැනීමට ජනතාව පෙරට ආ යුතුව ඇති අතර අලුත් අවුරුද්දේ අර්ථය සැබෑ ලෙසම අරුත් ගැන්වෙන නව ගමනක් රටට ලබා දිය යුතුව තිබේ.

නව අපේක්ෂා, නව අධිෂ්ඨානයන් කුළු ගන්වා ගැනීමට නව අවුරුද්ද විසින් ඉතාම අගනා සංසිද්ධියක් නිර්මාණය කරනු ලබයි. අලුත් අවුරුද්ද සැබැවින්ම සුබ වනු පිණිස අත්‍යාවශ්‍ය කරුණ වන්නේ, බහුතර ජනතාව විසින් එතෙක් දරමින් සිටි පැරණි ආකල්පවලින් මිදී තමන් පෞද්ගලිකවද පොදුවේ තමන් ජීවත්වන රටද නව ගමනකට මාරු විය යුතු බව අධිෂ්ඨානශීලීව අවධාරණය කර ගැනීමය. විනාශය කැඳවූ පැරණි දේශපාලන තීරණ වෙනස්කර නව දේශපාලන තීරණ ගැනීම සඳහා වන අදිටන මෙහි පළමු පියවරය. අපේ බලාපොරොත්තුව වන්නේ, රටටත් ජනතාවටත් සැබෑ ජයග‍්‍රණ අත්පත් කර දෙන නව සමාජයක් ගොඩනඟන නව දේශපාලන ගමනකට පෙළගැසීමට ජනතාව විසින් අලුත් අවුරුද්ද නව ජවයක් බවට පත්කර ගනු ඇත යන්නය.

උදා වූ සිංහල-දෙමළ අලුත් අවුරුද්ද, පුළුල් සමාජ ආර්ථික දේශපාලනික වෙනසක් වෙනුවෙන් ක‍්‍රියාත්මක වීමට අධිෂ්ඨානය කුළුගන්වා ගන්නා අවස්ථාවක් බවට පත්කරගන්නා මෙන්ද ලාංකේය ජාතියක් ලෙස එකම සහෝදරත්වයකින් බැඳීමට එය නිමිත්තක් බවට පත්කරගන්නා මෙන්ද සියලු ජනතාවගෙන් අපි දැඩි සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.

අනුර දිසානායක
නායක
ජනතා විමුක්ති පෙරමුණ