SRILANKAN NEWS

ජාතීන් අතර සමඟිය ඇති කිරීමට ක්‍රීඩාවට හා සංස්කෘතියට පුළුවන් – රාජිත සේනාරත්න

ජාතීන් අතර සමඟිය ඇති කිරීමට ක්‍රීඩාවට හා සංස්කෘතියට හැකි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා තිබේ.

ජාතික සංහිදියාව තේමා කර ගනිමින් බේරුවල පොලිස් ස්ථානය සංවිධානය කළ මිතුරු කුසලානය සදහා වූ කළුතර දිස්ත්‍රික්කයේ සත් සාමාජික පාපන්දු තරගාවලියේ ජය සංකේත ප්‍රදානය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බේරුවල නලීම් හාඡියාර් ක්‍රිඩාංගණයේ දී පසුගියදා පැවැත්විනි.

මෙහිදී කණ්ඩායම් 16 ක් පරදවමින් ජයග්‍රහණය හිමිකර ගත් බේරුවල එෆ්.සී ක්‍රීඩා සමාජයට සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් ජය සංකේත ප්‍රදානය කරන ලදි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “ජාතීන් අතර වරින් වර ඇති වන ප්‍රශ්න විසදීම සදහා ක්‍රීඩාව භාවිත කරනවා. ශ්‍රී ලංකාව දේශපාලන වාසි සදහා ක්‍රීඩාව භාවිත කරනවා. එම නිසා රටක් ලෙස ඉදිරියට යන්නේ නැහැ. ජාතිවාදය, ආගම්වාදය ගැන කථා කරලා වැඩක් නැහැ. එමගින් කථා කරන්නේ පපුවට. මොලයට නොවෙයි. අපි ඉපදුනා වගේම මිය යනවා. ජාතීන්, ආගම් අනුව මිනිසුන් වෙන් වන්නේ නැහැ. විරසක නොවී ප්‍රශ්න විසදා ගත යුතුයි. ජාතීන් අතර බෙදීමක් ඇති වූ විට රට සංවර්ධනය වන්නේ නැහැ. එවැනි බෙදීම් අවිද්‍යාත්මකයි.ආගමික නායකයින් එවැනි බෙදීම් ගැන උගන්වා නැහැ. බෙදීම් වලින් ජනතාව තමයි පීඩා විදින්නේ. බේරුවල ජාතික සමගිය ගොඩනැගිය හැකි මධ්‍යස්ථානයක්. සෑම දෙනාගේම අයිතිය සමාන විය යුතුයි. ආගමික නායකයින්ගේ චින්තනය ජනතාවගේ යහපත පමණයි. දුප්පත්කමින් මිදීමට මෙවැනි මතවාද වලින් ඈත් විය යුතුයි. දියුණු රටවල ජනතාව එම මතවාද වලින් මීදී තිබෙනවා. ජාතීන් අතර සමගිය ඇති කිරීමට ක්‍රීඩාව හා සංස්කෘතිය එක් මාර්ගයක් වෙනවා. භේද නැති කරන්න පුලුවන්.”

මෙම අවස්ථාවට බේරුවල එක්සත් ජාතික පක්ෂ සංවිධායක ඉෂ්ඨිකාර් ජමීල්, බේරුවල නගරාධිපති මසාහිම් මොහොමඩ්, බේරුවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක එම්.එම්.එම් අම්ජාඩි, බේරුවල පොලිස් ස්ථානාධිපති ජනක විතානගේ යන මහත්වරුන් ඇතුලු පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු එක්ව සිටියහ.