SRILANKAN NEWS

රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ දී පදක්කම් හිමිකරගත් යුද්ධ හමුදා ක්‍රීඩකයා දිරීගන්වයි

21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ බර ඉසීලිමේ ඉසව්වේ ලෝකඩ පදක්කම් හිමිකරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් තරඟ වැදුණු 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ කෝප්‍රල් ජේ.ඒ.සී. ලක්මාල්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා හමුවූ අතර ඔහුගේ බර ඉසිලීමේ කුසලතාවන් තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහාත් ඔහුගේ අවශ්‍යතාවයන් සපයාදීම සඳහා අනාගතයේ සහාය ලබාදෙන බවට යුද්ධ හමුදාධිපතිවරයා විසින් සහතික වී තිබේ.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ දී (කිලෝග්‍රෑම් 56 බර පන්තිය යටතේ) බර ඉසීලිමේ පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකරගනීමින් රටට සහ යුද්ධ හමුදාවට අත්කරදුන් කීර්තිය වෙනුවෙන් යුද්ධ හමුදාධිපති සිය සුභපැතුම් එක්කළහ.

මෙහිදි යුද්ධ හමුදාධිපතිවරයා විසින්කෝප්‍රල් ජේ.ඒ.සී. ලක්මාල් හට එම ස්ථානයට ළඟාවීමට උනන්දු කරවූ ඔහුගේ පුහුණුකරු බනි ඓ එම්.ජි.එන් ප්‍රනාන්දු මහතා වෙත සිය ස්තුතිය පුද කළහ.

මෙහිදි පදක්කම්ලාභි කෝප්‍රල් ජේ.ඒ.සී. ලක්මාල් හට සවන්දුන් යුද්ධ හමුදාධිපතිවරයා ,ඔහුගේ අනාගත ක්‍රීඩා කටයුතු වැඩිදියුණු කරගැනීම තුළින් බර ඉසීලිමේ ඉසව්වෙන් තවත් ජාත්‍යන්තර පදක්කම් ලබාගැනීමට හැකිවන සේ පහසුකම් සැලසීමට මෙන්ම අනෙකුත් අවශ්‍යතාවයන් පිළිබඳ විමසා බැලු අතර,එම අවශ්‍යතාවයන් සපුරාලීමට යුද්ධ හමුදාධිපතිවරයා පොරෝන්දු විය.

යුද්ධ හමුදා කායවර්ධන, බරඉසිලීම් හා සවිඑසවිමේ කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් වජිර පලිහක්කාර, කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා සහ යුද්ධ හමුදා කායවර්ධන, බර ඉසිලීම් හා සවි එසවිමේ කමිටුවේ නියෝජ්‍ය සභාපති බ්‍රිගේඩියර් ජයන්ත විජේසුන්දර යන මහත්වරු මෙන්ම පුහුණුකරු බනි ඓ එම්.ජි.එන් ප්‍රනාන්දු මහතා ද යුද්ධ හමුදා මූලස්ථානයේ පැවැති මෙම සුහද හමුව සඳහා එක්ව සිටියහ.