SRILANKAN NEWS

සිරිකොත කොටස් තුනකට බෙදා නව ලේකම්වරු තිදෙනෙකුට බාර දෙයි

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළට සමගාමීව සිරිකොත පක්ෂ මූලස්ථානය ප්‍රධාන ‍ක්ෂේත්‍ර තුනකට වෙන් කර එහි කටයුතු කාර්යක්‍ෂමව ඉදිරියට ගෙන යාම සඳහා නිලධාරී මණ්ඩලයකට බලය පැවරීමට තීරණය කර ඇත.

ඒ අනුව ජනසන්නිවේදන හා ප්‍රචාරක අංශය, ප්‍රධාන කාර්යාලය මෙහෙයවීම, සාමාජිකයන් බඳවාගැනීම හා ප්‍රවර්ධන කටයුතු බිම් මට්ටමින් ක්‍රියාවට නැංවීම වැනි වැඩකටයුතු ඉදිරියට මෙහෙයවීම සඳහා නිලධාරීන් තිදෙනෙකුට බලය පැවරෙන අතර, ඔවුන්ට සහය දැක්වීමට විෂය භාර නව ලේකම්වරු තිදෙනෙක්ව පත් කෙරෙනු ඇත.

පක්ෂයට නව සාමාජිකයන් බඳවා ගැනීම හා ප්‍රවර්ධන කටයුතු බිම් මට්ටමේ සිට ක්‍රියාවට නැංවීම ජාතික සංවිධායකවරයාටත්, ජනසන්නිවේදන හා ප්‍රචාරක කටයුතු ඉදිරියට ගෙන යෑම ඒ සඳහා පත් කරන ප්‍රධානියාට වගකීම් පැවරෙන අතර, පක්‍ෂයේ ප්‍රධාන කාර්යාලය මෙහෙයවීම් කටයුතු මහලේකම්වරයා වෙත පවරනු ලබයි.

එක්සත් ජාතික පක්‍ෂයේ සිදු කරනු ලබන නව ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල යටතේ පක්‍ෂය ශක්තිමත් කිරීම සඳහා පියවර රැසක් මේ වනවිට ගෙන තිබෙන අතර, පක්‍ෂ මූලස්ථානය අංශ තුනකට වෙන් කර නිලධාරී මණ්ඩලයකට බලය පැවැරීම එහි තවත් පියවරකි.