SRILANKAN NEWS

ණය කන්දට තවත් කෝටි තුන්ලක්ෂයක් එකවෙයි

ලබන 2019 වසර වෙනුවෙන් රජයේ වියදම් දැරීම සඳහා මුල් මාස හතරට අදාළව සම්මත කර ගන්නා ලද අතුරු ගිණුමේ ණය ගැනීමේ අවශ්‍යතාව අනුව ගණනය කිරීමේදී වර්ෂය තුළ රුපියල් කෝටි දෙලක්ෂ අනූහත්දහසක (රු. කෝටි 294,000) ණය ගැනීමට සිදු වන බව අනාවරණය වේ.

මුල් මාස හතර සඳහා ණය ගැනීමේ අවශ්‍යතාවය රුපියල් කෝටි අනූ නමදහසක් (රු. කෝටි 99,000) වී ඇත. ඒ අනුව වර්ෂය තුළ රුපියල් කෝටි තුන්ලක්ෂයකට ආසන්න අති විශාල ණය ප්‍රමාණයක් ලබා ගැනීමට සිදු වේ. මෙම වසර ගෙවී යන විට රටේ සමසත ණය බර දළ වශයෙන් රුපියල් කෝටි එකොළොස්ලක්ෂ පනස්දහසක් (රු. කෝටි 1,150,000) පමණ වී ඇති බව අනාවරණ වේ.

ඉදිරිපත්කර තිබෙන අතුරු සම්මත ගිණුමට අනුව සලකා බැලීමේදී ලබන වසරේ රජයේ මුළු වියදම රුපියල් කෝටි පන්ලක්ෂ තිස්දහසක් (රු. කෝටි 530,000) පමණ වේ. මෙයින් අති විශාල මුදලක් එනම් දළ වශයෙන් රුපියල් කෝටි දෙලක්ෂ විසිදහසක් (රු. කෝටි 220,000) පමණ ණය වාරික සහ පොලී ගෙවීමට වෙන් කෙරේ. මේ වනවිටද ලෝකයේ ණයගැති රටවල් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව අතීශය අවදානම් තත්වයේ පවතින බවට නම් කර ඇත.

 

by – lankatruth.com

Tags