SRILANKAN NEWS

පාර්ලිමේන්තුව දින 11කින් කල් තියයි

ඊයේ (10) දින රැස්වූ පාර්ලිමේන්තුවේ ප්‍රධාන වැඩකටයුතු ආරම්භ නොකරම පාර්ලිමේන්තුව ලබන 21වනදා පස්වරු 01.00 දක්වා කල් තැබීමට කතා නායක කරූ ජයසූරිය මහතාෙ කටයුතු කළේ ය.

ඊයේ පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු පළමුව මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්නවලට අවස්ථාව එළෙඹි අතර ඉන් පසු මහින්ද පිලේ මන්ත්‍රී වරු තිදෙනෙකුට විශේෂ අදහස් දැක්වීමට අවස්ථාව ලබා දී තිබිණ. ඒ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක හමුවේදී පැමිණි එකඟතාවයකට අනුව ය. ඒ අනුව ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංස සහ කෙහෙළිය රඹුක්වැල්ල යන් මන්ත්‍රීවරුන්ට අදහස් දැක්වීමට අවස්ථාව ලබාදුන් අතර එම අදහස් දැක්වීම අතරතුර සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා නැගිට එසේ අදහස් දැක්වීමට ලබාදීම දෝශදර්ශනයට ලක් කළේ ය.

එම අවස්ථාවේදී කතානායක කරූ ජයසූරිය මහතා, පක්ෂ නායක රැස්වීමේදී පැමිණි එකඟතාවය සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට දැඩි ස්වරූපයකින් සිහිපත් කළ නමුත් කිරිඇල්ල මන්ත්‍රීවරයා දිගින් දිගටම ඊට විරෝධය දැක්වීය.

කෙසේ නමුත් මහින්ද පිලේ මන්ත්‍රීවරු තිදෙනා සිය අදහස් දැක්වීම අවසන් වීමත් සමග ආණ්ඩු පක්ෂය සහ මහින්ද පිල අතර දැඩි උණුසුම් තත්වයක් හටගත් අතර ප්‍රධාන වැඩකටයුතු සඳහා සභාව ඉදිරියට ගෙනයාමට නොහැකිවීම හේතුවෙන් කතානායකවරයා සභාව 21වනදා දහවල් 01.00 තෙක් කල් තබන ලදී.