SRILANKAN NEWS

තවත් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමෙන්තුවට

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට නිවාස අලුත්වැඩියා කිරීම, විවිධ විෂය ක්ෂේත්‍රයන්ට අදාළව අතිරේක ප්‍රතිපාදන සැලසීම ආදී අවශ්‍යතාවන් බොහොමයක් වෙනුවෙන් හදිසියේ මුදල් වෙන් කරන තවත් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඊයේ (07) ඉදිරිපත් කර ඇත.

විසර්ජන පනතේ 6(1) වගන්ති විධිවිදාන යටතේ අවශ්‍ය පරිදි අතිරේක ප්‍රතිපාදන ලබාදීම සිදු කරන බවත්, අදාළ වියදම් ඒකකයන්හි අනුමත අයවැය ඇස්තමේන්තුවල විශේෂයෙන් දක්වා ඇති අවශ්‍යතා සඳහා ඇගයීමක් කිරීමෙන් අනතුරුව, අදාළ මුදල් රෙගුලාසි සහ අනුමත විධිවිදාන වලට යටත්ව පමණක් එම ප්‍රතිපාදන සපයනු ලබන බවත්එහි සඳහන්ය.

එසේ වුවද පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇති වාර්ෂික ඇස්තමේන්තුව ඇතුළත් මුළු වියදම් සීමාව මෙම අතිරේක ප්‍රතිපාදන ලබාදීම මඟින් ඉක්මවනු නොලබන බවත්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ පරිපූරක ඇස්තමේන්තු යෝජනාවේ සඳහන්ය.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශය, යන අමාත්‍යංශයන්ට අදාළ අමාත්‍යවරුන්ගේ නිල නිවාස අලුත්වැඩියා කිරීමද මෙමගින් ආවරණය කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍යවරයාට ආරක්ෂක පසුගමන් රථයක් සඳහා 9,000,000 ක මුදලක්ද මෙම ඇස්තමේන්තුව මඟින් මුදල් වෙන්කර ඇති බව සඳහන්ය.