සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම සහ ඇවන්ට්ගාඩ් සමාගම අතර සිදුව ඇති නීතිවි රෝධී ගණුදෙනුවලට අදාලව බරපතල වංචා හා දූෂණ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම විසින් සිදු කළ විමර්ශනයේදී රක්නා ලංකා සේවකයන් පැවති ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම, රක්නා ලංකා ගිනිඅවි නීති විරෝධී ලෙස ඇවන්ට්ගාඩ් සමාගම වෙත පැවරීම සහ රක්නා ලංකා ආයතනයටත් නාවික හමුදාවටත් ලැබිය යුතු මුදල් නොගෙවීම, මුහුදු ආරක්ෂක සේවාවන් සැපයීමට අදාළ ව්‍යාපාර කටයුතු සිදුකිරීමේදී ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් පුද්ගලික සමාගමට අනිසි වාසියක් සිදුවන ආකාරයට කටයුතු කිරීම, වන්ට්ගාඩ් ආයතනය කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා කඳවුර තුළ අවි පුහුණු කටයුතු සම්බන්ධ ව්‍යාපාර කටයුත්ත සිදුකිරීට සඳහා තුවක්කු 17ක්, නිසි ආකාරයට බදු ගෙවීමකින් සහ නිසි බලපත්‍ර ලබා ගැනීමකින් තොරව එකී පුහුණු කටයුතු සඳහා භාවිතා කිරීම සහ එසේ සිදුකිරීමට සහාය දීම යන ප්‍රධාන සිද්ධීන් හතරක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගෙන ඇත.
මෙම වැරදි සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සුජාතා දමයන්ති ජයරත්න, බස්නාහිර පළාත් සභාවේ හිටපු ඇමති උපාලි කොඩිකාර, රක්නා ආරක්ෂක ලංකා සමාගමේ හිටපු සභාපති, මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ට්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති යන අපරාධමය වරදවල් සිදු කර ඇති බැවින් ඔවුන්ට එරෙහිව අපරාධ නඩු පැවරි යුතු බවද එම කොමිසම නිර්දේශ කර ඇත.
එම නිදේශ සහිත වාර්තාව සම්පූර්ණයෙන් පහතින් පල වේ.
සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම සහ ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගම සම්බන්ධ පෙත්සම – PCI/81/2015
(I) අක්‍රමිකතාවයන් සහ වගකිව යුතු පාර්ශවයන්
ඉහත සඳහන් පෙත්සම සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයෙන් අනතුරුව පහත සඳහන් පාර්ශවකරුවන් පරීක්ෂණය සඳහා කැඳවීමට නොතීසිලත් පාර්ශවයන් ලෙස හඳුනාගෙන ඇත.
කරුණාරත්න බණ්ඩා අධිකාරි එගොඩවෙල, අංක 53/10/1, පෙරේරා මාවත, මිරිහාන, නුගේගොඩ.
රක්නා ආරක්ෂක ලංකා සමාගමේ හිටපු සභාපති, මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු.
නන්දසේන ගෝඨාභය රාජපක්ෂ, අංක 26/ඒ, පැගිරිවත්ත පාර, මිරිහාන, නුගේගොඩ.
මනමෙල්දුර රෝහනවීර ද සොයිසා, අංක 18/16, බලපොකුණ පෙදෙස, බලපොකුණ පාර, කිරුළපන.
අච්චි මද්දුමාගේ දොන් හසල ධනසිරි අමරතුංග, අංක 24/05, දෙවන පටුමග, කඩවත පාර, කළුබෝවිල, දෙහිවල.
6.අරුමාදුර ලෝරන්ස් රොමෙල්ලෝ දුමින්ද සිල්වා, අංක 40/08, පෙරේරා මාවත, පැලවත්ත, බත්තරමුල්ල.
7.රණවක ආරච්චිගේ දොන් ජනක, අංක 155/05, සපුමල් පෙදෙස, රාජගිරිය.
8.හේවා මාතරගේ උපාලි කොඩිකාර, අංක 425/27, පරන කොට්ටාව පාර, උඩහමුල්ල.
9.චන්ද්‍රසේකර රෝහිත බණ්ඩාර බෝගොල්ලාගම, අංක 40/13, ලොන්ඩන් පෙදෙස, කොළඹ 07.
10.දිසානායක මුදියන්සේලාගේ සුජාතා දමයන්ති ජයරත්න, අංක 122/6, නාරම්මිනිය පාර, කැළණිය.
11.ජයනාත් සිරිකුමාර කොළඹගේ, හිටපු නාවික හමුදාපති, අංක 606/1, ගම මැද පාර, කටුනායක.
12.සමරසිංහ ආරච්චිගේ මැක්සිමස් ජයන්ත පෙරේරා, හිටපු නාවික හමුදාපති, අංක 7/ඒ, බාතිය පාර, කළුබෝවිල, දෙහිවල.
13.වයි.එච්.පී.නිශ්ශංක යාපා සේනාධිපති, අංක 613, බංගලා හන්දිය, කෝට්ටේ පාර, කෝට්ටේ.
අණාවරණය වූ වැරදි
ඉහත සඳහන් නොතීසිලත් පාර්ශවයන්ට අදාළව පරීක්ෂණයට පදනම් වූ සිද්ධීන් මෙසේය.
සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම (මින් මතුවට රැල් (RALL) ආයතනය වශයෙන් හදුන්වනු ලබන) සම්බන්ධයෙන් ඉහත සඳහන් කරන ලද නොතීසිලත් පාර්ශවකරුවන් විසින් එකී ආයතනයේ කටයුතුවලට අදාළව, එනම් සේවකයන් දේශපාලන කටයුතුවලට යොදවා ගැනීම සහ ආනුශාංගික ක්‍රියා සම්බන්ධයෙන් එකී සේවකයන් යොදවා ගැනීම සහ එම අයට ආහාර පාන සැපයීම සම්බන්ධයෙන් මූල්‍ය අක්‍රමිකතා මෙම කොමිෂන් සභාව විසින් හඳුනා ගන්නට යෙදුනි.
මෙම පරීක්ෂණය මුල් අවස්ථාවේ මෙකී කරුණු සම්බන්ධයෙන් සිදු කෙරෙමින් පවතින අතරතුරදී රැල් ආයතනය සමග බද්ධ ගිවිසුම් ගණනාවක් සීමාසහිත ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් පුද්ගලික සමාගම සමග තිබීමද හෙළිදරව් වී ඇති අතර, රැල් ආයතනයට නිකුත් කර තිබූ ස්වයංක්‍රීය අවි මෙම ගිවිසුම් ප්‍රකාරව සහ අන් ආකාරයට ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගම ව්‍යාපාර කටයුතුවලට යොදවා ගැනීමද හෙළිදරව් විය. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයන් සිදු කරන ලදී. එකී පරීක්ෂණය අතරතුරදි අවි ගබඩා කිරීමේ කටයුත්තක් නාවික හමුදාව විසින් ගාලු වරායේ සිදු කර ඇති බවත්, එම අවි ගබඩා කිරීමේ කටයුත්ත මුහුදු ආරක්ෂක සේවාවන් සැපයීමේ ව්‍යාපාර කටයුතුවලදී ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන මූල්‍යමය ප්‍රතිලාභ ලැබෙන කර්තව්‍යයක් බවත් හෙලිදරව් විය. මෙම අවි ගබඩා කිරීමේ කර්තව්‍යය ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගමට ලබා දී ඇති බවත්, එම කටයුත්ත ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගමේ මූල්කත්වයෙන් රැල් සමාගමේද සහභාගීත්වය සහ සහයෝගය ඇතිව සිදුකිරීමට කටයුතු යෙදී ඇති බවද අනාවරණය වී ඇත.
තවද, මෙම පරීක්ෂණය සිදු කිරීමේදී පාවෙන අවි ගබඩාවක් සම්බන්ධයෙන්ද අවධානය යොමු වී ඇති අතර, ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගම විසින් කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා කඳවුර තුළ අවි පුහුණුව සහ ඊට අදාළ සහතික නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන්ද කරුණු හෙළිදරව් වී ඇත.
මෙම කරුණු වලට අදාලව පරීක්ෂණය සිදු කිරීමේදී ප්‍රධාන සිද්ධීන් හතරක් සම්බන්ධයෙන් වැරදි සහ අක්‍රමිකතා හඳුනා ගැනීමට යෙදුණි. ඒවා පහත සඳහන් පරිදිය.
රැල් (RALL) සමාගමේ සේවකයින් 2015 ජනවාරි මස 08 වැනි දින පැවති ජනාධිපතිවරණයට අදාළව ප්‍රචාරණ කටයුතුවලට සහ ඊට අදාළව ආනුශාංගික ක්‍රියා සඳහා 2014.12.01 වැනි දින සිට 2015.01.05 වැනි දින අතර කාලය තුළදී යෙදවීමත්, ඒ සඳහා කිසිදු මුදලක් අය නොකර රැල් සමාගම විසින් එසේ යෙදවූ අයට වේතන සහ ගෙවීම් සිදු කිරීමෙන්ද, ආහාර පාන සැපයීමෙන්ද රැල් ආයතනයට රුපියල් ලක්ෂ 70 ක පමණ මුදලක පාඩුවක් සිදු කර තිබීම.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරමින් පැවති මුහුදු ආරක්ෂක සේවාවන් සපයන ආයතනවලට අයත් (PMSC) අවි තැන්පත් කිරීමේ කාර්යය දක්ෂිණ කඳවුරේ පැවති ව්‍යාපාර කටයුත්ත ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගමට, රැල් ආයතනය සමග සිදුකිරීම සඳහා භාර දීමත්, ඉන් අනතුරුව මුලින් තීරණය කරන ලද ශ්‍රී ලංකා නාවික හමුදාවට ලැබිය යුතු ආදායම් කොටස මෙන්ම රැල් ආයතනයට ලැබිය යුතු ලාභාංශ කොටස අඩු කිරීම තුලින් රජයට පාඩු සිදුකිරීම හෝ රජයේ ආදායමට හානි සිදුකිරීම.
මුහුදු ආරක්ෂක සේවාවන් සැපයීමට අදාළ ව්‍යාපාර කටයුතු සිදුකිරීමේදී ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් පුද්ගලික සමාගමට අනිසි වාසියක් සිදුවන ආකාරයට කටයුතු කිරීම.
ඇවන්ට්ගාඩ් ආයතනය කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා කඳවුර තුළ අවි පුහුණු කටයුතු සම්බන්ධ ව්‍යාපාර කටයුත්ත සිදුකිරීට සඳහා තුවක්කු 17ක්, නිසි ආකාරයට බදු ගෙවීමකින් සහ නිසි බලපත්‍ර ලබා ගැනීමකින් තොරව එකී පුහුණු කටයුතු සඳහා භාවිතා කිරීම සහ එසේ සිදුකිරීමට සහාය දීම.
(II) නිර්දේශිත නෛතික ක්‍රියාමාර්ග
මෙම කොමිෂන් සභාව විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන ලද පරීක්ෂණයෙන් පසුව ඊට අදාලව අවසන් වාර්තාව මේ වන විට ඔබතුමා වෙත ඉදිරිපත් කර ඇති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙම කොම්ෂන් සභාව විසින් එලබෙන ලද නිගමන හා තීරණ ඉහත කී වාර්තාවේ V,VI,VII වන කොටස්වල දක්වා ඇති අතර, එහි උධෘත මෙහි පහත ඇතුලක් කර ඇත.
“…වගකිව යුතු පුද්ගලයින්ට විරුද්ධව අපරාධ නඩු පැවරීම සම්බන්ධයෙන් මෙම කොමිෂන් සභාව විසින් කරනු ලබන නිර්දේශ
මෙම පරික්ෂණයේදී හෙලිදරව් වූ සාක්ෂි සහ ලිඛිත සැලකිරීම් මගින් ඉදිරිපත් කරන ලද කරුණු අනුව එක් එක් නොතීසිලත් පාර්ශවය වෙන් වෙන්ව වගකිවයුත්තේ කවර කාරණා සම්බන්ධයෙන්ද යන්න මෙම වාර්තාවේ මේ වනවිට සලකා බලා ඇත.
මෙම හෙලිදරව් වූ කරුණු අනුසාරයෙන් කිසියම් හෝ නොතීසිලත් පාර්ශවයකට එරෙහිව අපරාධමය නඩු කටයුත්තක් ගොනු කිරීම සුදුසු වන්නේද යන්න මෙම කොමිෂන් සභාව විසින් සලකා බලා සුදුසු නිර්දේශයක් කිරීමද සිදු කළ යුතු වේ.
මෙම පරීක්ෂණයේදී සිද්ධි ගණනාවක් සම්බන්ධයෙන් නොතීසිලත් පාර්ශවකරුවන් සහ පාර්ශවකාරියන් 13 දෙනෙකුට එරෙහිව කරුණු පරික්ෂා කරන ලදී. ඒ අනුව අදාල සිද්ධීන් මූලිකව වෙන් වෙන්ව සැළකිල්ලට ගෙන ඒ ඒ සිද්ධීන් සඳහා එක් එක් නොතීසිලත් පාර්ශවයන්ට එරෙහිව අපරාධ නඩු පැවරීමට සාක්ෂි ඇත්නම් ඒ සම්බන්ධයෙන් වන නිර්දේශයන් සිදුකිරීම ද සලකා බැලිය යුතුවේ.
මෙම පරීක්ෂණයේදී ඉදිරිපත් වූ සාක්ෂි විශ්ලේෂණය කිරීමේද ී අපරාධමය ස්වභාවයේ නීති කෘතීන් ගොනු කිරීම සඳහා සලකා බැලිය යුතු සිද්ධීන් පහත ආකාරයට වේ.
(1) රැල් ආයතනයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම හා ඒ සඳහා පිරිවැය රැල් ආයතනය දැරීම,
(2) නාවික හමුදාව පවත්වාගෙන ගිය අවි ගබඩා ව්‍යාපෘතිය ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගම වෙත පැවරීම සහ නාවික හමුදාවට ලැබිය යුතු ආදායම් ප්‍රතිශතය අඩු කිරීම,(3) මුහුදු ආරක්ෂකයනගේ අවි පුහුණුව සහ නිපුනත්ව සහතික නිකුත් කිරීමේ ව්‍යාපාරයක් කිරීමට ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට අවසර දීම සහ නිසි තුවක්කු බලපත්‍ර නිකුත් නොකිරීම මගින් වාර්ෂික බද්ධ අහිමි කිරීම සහ ආනුශාංගික කරුණු,
(4) රැල් ආයතනය සතු තුවක්කු සඳහා තුවක්කු ආඥා පනත යටතේ බලපත්‍ර නිකුත් නොකිරීම හා ආනුශාංගික කරුණු වේ.
(1) රැල් ආයතනයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම
රැල් ආයතනයේ සේවකයින් දේශපාලන කටයුතු වලට යෙදවීම සම්බන්ධයෙන් සලකා බැලිය යුතු වන වරද වන්නේ අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ වන දූෂණය යන වරද වේ. රැල් ආයතනයේ කොටස් වලින් 50% කට වැඩි ප්‍රමාණයක් එනම් 100% ක්ම රජය සතු වන බැවින් අල්ලස් පනතේ 90 වන වගන්තිය යටතේ “රජයේ සේවකයා” යන අර්ථකථනයට එවැනි සමාගමක සභාපතිවරයෙකු, අධ්‍යක්ෂ වරයෙකු, සාමාජිකයෙකු, හෝ නිලධාරියෙකු හෝ සේවා නියුක්තිකයෙකු ඇතුලත් වේ. 1 වන සහ 2 වන නොතීසිලත් පාර්ශවකරුවන් වන කේ.බී.එගොඩවෙල සහ පාලිත ප්‍රනාන්දු යන දෙදෙනා රැල් ආයතනයේ පිළිවෙලින් ප්‍රධාන විධායක නිලධාරී සහ සභාපති වශයෙන් කටයුතු කරමින් සේවකයින් දේශපාලන කටයුතුවලට යෙදවීමේ කර්තව්‍යය සිදු කර ඇත. මෙම සේවක පිරිස් මැතිවරණ ප්‍රචාරන කටයුතු වලට තම බල ප්‍රදේශ වල යොදවා ගැනීම සම්බන්ධයෙන් 4 වන, 5 වන, 6 වන, 7 වන සහ 8 වන නොතීසිලත් පාර්ශවයන්, 1 වන සහ 2 වන නොතීසිලත් පාර්ශවයන් සමග එක්ව කටයුතු කර ඇති බවටත්, එම සේවක පිරිස් දේශපාලන කටයුතු සඳහා යොදවා ගෙන ඇති බවටත් කරුණු හෙළිදරව් වී ඇත. තවද, එම සේවකයින් ලබා ගෙන මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලට යොදවා ගැනීම වෙනුවෙන් 4 වන, 5 වන, 6 වන, සහ 7 වන නොතීසිලත් පාර්ශවයන් විසින් කිසිදු ගෙවීමක් ද සිදු කර නැති අතර, 1 වන සහ 2 වන නොතීසිලත් පාර්ශවයන් කිසිදු අයකර ගැනීමක්ද කර නැත. 1 වන සහ 2 වන නොතීසිලත් පාර්ශවයන් සමග 4, 5, 6, 7, 8 නොතීසිලත් පාර්ශවයන් ඒ අනුව රැල් ආයතනයේ සේවකයින් දේශපාලන ප්‍රචාරන කටයුතු වලට යොදවා ගැනීම සඳහා එක්ව කටයුතු කර ඇති බව සාක්ෂි තුලින් හෙළිදරව් වී ඇත.
මේ අනුව 1, 2, 4, 5, 6, 7 සහ 8 වන නොතීසිලත් පාර්ශවයන්ට එරෙහිව 1994 අංක 20 දරණ පනතින් සංශෝධිත අල්ලස් පනතේ දඬුවම් ලැබිය යුතු දූෂණය නමැති චෝදනාවක් ගොනු කිරීම සලකා බැලීම සුදුසු බව මෙම කොමිෂන් සභාවේ නිර්දේශය වේ.
එනම් 2014 නොවැම්බර් සිට 2015 ජනවාරි මස 07 වැනිදා අතර කාලය තුලදී 1 වන නොතීසිලත් පාර්ශවය රක්නා ආරක්ෂක ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙසද, 2 වන නොතීසිලත් පාර්ශවය එකී ආයතනයේ සභාපති වශයෙන්ද, කටයුතු කරමින් එම ආයතනයේ සේවකයින් ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරන කටයුතු සඳහා යෙදවීමට 4, 5, 6, 7, සහ 8 වන නොතීසිලත් පාර්ශවයන්ට කිසිදු මුදලක් අය නොකර ලබා දීම තුලින් එම අයට නීතිවිරෝධි ලෙස අර්ථලාභයක්, අනුග්‍රයක් හෝ වාසියක් සැසසෙන බව දැන දැනම රජයේ සේවකයන් වශයෙන් වූ ස්වකීය ධූරය ප්‍රකාරව කිරීමට තමන්ට බලය ඇති යම් ක්‍රියාවක් සිදු කිරීමෙන්, එනම් මෙකී රක්නා ලංකා සමාගමේ ආරක්ෂක නිලධාරීන් සහ අනෙකුත් සේවකයින් දේශපාලන කටයුතුවලට යෙදවීමෙන්ද, එසේ යොදවන ලද ආරක්ෂකයින් හට සහ සේවකයින්ට එම කාලය තුලදී වේතන සහ දීමනා රත්නා ලංකා සමාගමෙන් ගෙවීම තුලින් 4, 5, 6, 7 සහ 8 නොතීසිලත් පාර්ශවයන්ට අයුතු ලාභයක් හෝ අයුතු වාසියක් සිදු කිරීමෙන් නැතහොත් රැල් ආයතනයට අයුතු පාඩුවක් සිදු කිරීමෙන් අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ වන දූෂණය වන වරද කිරීමට කුමන්ත්‍රණය කිරීමෙන් එකී වරද සිදි කිරීම සම්බන්ධයෙන් චෝදනා කිරීමට ප්‍රමාණවත් කරුණු හෙළදරව් වී ඇති බව මෙම කොමිෂන් සභාවේ නිගමනයයි.
තවද, 1 වන සහ 2 ව වන නොතීසිලත් පාර්ශවයන් සමග 4, 5, 6, 7 සහ 8 නොතීසිලත් පාර්ශවයන් එක්ව කුමන්ත්‍රණය කිරීමක් සිදු කර ඇති බවට සාක්ෂි තුළින් හෙළිදරව් වී ඇත.
ඒ අනුව ඉහත යෝජිත ආකාරයට 1, 2, 3, 4, 5, 6, 7 සහ 8 වන නොතීසිලත් පාර්ශවයන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 113 අ හා 102 වගන්තිය සමග කියවිය යුතු අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ චෝදනා ඉදිරිපත් කිරීම සලකා බැලීම සුදුසු බව මෙම කොමිෂන් සභාවේ නිර්දේශය වේ.
(2) නාවික හමුදාව පවත්වා ගෙන ගිය අවි ගබඩා ව්‍යාපෘතිය ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විස් සමාගම් වෙත පැවරීම සහ නාවික හමුදාවට ලැබිය යුතු ආදායම් ප්‍රතිශතය අඩු කිරීම.
මීට අදාලව පැවැත්වූ පරීක්ෂණයේ දී මෙහෙයවන ලද සාක්ෂිද, නොතීසිලත් පාර්ශවයන් විසින් ඉදිරිපත් කරන ලද ලිඛිත සැලකිරීම් ද යන කරුණු සැළකිල්ලට ගනිමින් පෙර කර ඇති ඉහත විශ්ලේෂණයට අනුව, 1 වන නොතීසිලත් පාර්ශවය වන කේ.බී. එගොඩවෙල, 2 වන නොතීසිලත් පාර්ශවය වන පාලිත ප්‍රනාන්දු, 3 වන නොතීසිලත් පාර්ශවය වන ගෝඨාභය රාජපක්ෂ, 10 වන නොතීසිලත් පාර්ශවය වන දමයන්ති ජයරත්න, 11 වන නොතීසිලත් පාර්ශවය වන ජේ.එස් කොළඹගේ, 12 වන නොතීසිලත් පාර්ශවය වන ජයන්ත පෙරේරා සහ 13 වන නොතීසිලත් පාර්ශවය වන නිශ්ශංක යාපා සේනාධිපති යන අය අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ විස්තර කර ඇති දූෂණය න්මැති වරද, එකී වරද සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ හෝ ඊට අනුබැඳීම් යන වරදවල් එකක් හෝ වැඩි ගණනක් සිදු කර ඇති බව සාක්ෂි තුලින් හෙළිදරව් වී ඇති බව කොමිෂන් සභාවේ නිගමනය වේ.
එනම් එකී නොතීසිලත් පාර්ශවයන්ට එරෙහිව මූලික අදාල අවි ගබඩා කිරීමේ ව්‍යාපෘතිය නාවික හමුදාවෙන් ඉවත් කොට ඇවන්ට්ගඩ් මැරිටයිම් සර්විස් සමාගමේ ප්‍රමුඛත්වයෙන් යුතුව කරගෙන යෑමට එකී සමාගමට 2012 ඔක්තෝබර් මස 15 වන දින පැවරීම සහ 2012 ඔක්තෝබර් මස සිට 2014 දෙසැම්බර් මස අතර කාලය තුලදී ක්‍රමක්‍රමයෙන් නාවික හමුදාවට ලැබෙන ආදායම සහ ආදායම් ප්‍රතිශතය අඩු කිරීම මෙන්ම රැල් ආයතනයට ලැබෙන ලාභාංශ ප්‍රතිශතය අඩු කිරීම යන කරුණු සම්බන්ධයෙන් වෙන් වෙන්ව අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ වන චෝදනා ගොනු කිරීම සලකා බැලීම සුදුසු බව මෙම කොමිෂන් සභාවේ නිර්දේශය වේ.
අදාල 70 වන වගන්තිය රජයේ සේවකයන් සම්බන්ධයෙන් අදාල වන අතර, 1 වන් නොතීසිලත් පාර්ශවය සහ 2 වන නොතීසිලත් පාර්ශවය යන දෙදෙනා රැල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ සභාපති වශයෙන් අල්ලස් පනතේ 90 වන වගන්තියේ “රජයේ සේවකයා” යන අර්ථකතනය හේතුකොටගෙන ඔවුන්ද රජයේ සේවකයින් වශයෙන් සැළකිය හැක.
ඒ අනුව 1 වන, 2 වන, 3 වන, 10 වන, 11 වන, 12 වන සහ 13 වන නොතීසිලත් පාර්ශවයන්ට එරෙහිව 2012.01.01 වනදා සිට 2014.06.08 වැනි දින අතර කාලය තුලදී නාවික හමුදාව විසින් කරගෙන ගිය සීමාර්ෂල්වරුන්ගේ අවි ගබඩා කිරීමේ ව්‍යාපාරය ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විස් සමාගමේ මූලිකත්වයෙන් කරගෙන යාමට බාර දීමට සහ නාවික හමුදාවට ලැබෙන ආදායම අඩු කිරීමට තීරණය කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවක් දණ්ඩ නීති සංග්‍රහයේ 113 ආ සහ 102 වගන්තිය යටතේද, 3 වන නොතීසිලත් පාර්ශවයට එරෙහිව 2012.01.01 දින සහ 2012.10.15 දින අතර කාලය තුලදී අවි ගබඩා කිරීමේ ව්‍යාපාරය නාවික හමුදාවෙන් ඉවත් කර ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විස් සමාගමට බාර දීම සම්බන්ධයෙන් වන දූෂණ චෝදනාවක්ද සහ 1 වන, 2 වන, 10 වන, 11 වන, 12 වන සහ 13 වන නොතීසිලත් පාර්ශවයන්ට එකී වරදට අනුබල දීමේ චෝදනාවක්ද ගොනු කිරීම සලකා බැලීම සුදුසු බව මෙම කොමිෂන් සභාවේ නිගමනය වේ.
මීට අමතරව නාවික හමුදාවට ලැබිය යුතු ආදායම් ප්‍රතිශතය 25% සිට 17% දක්වා අඩු කිරීම සම්බන්ධයෙන් 1 වන, 2 වන, 3 වන, 10 වන, 11 වන, 12 වන සහ 13 වන නොතීසිලත් පාර්ශවයන්ට එරෙහිව අල්ලස් පනතේ 70 වන වගන්තිය සමග කියවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 113 ආ සහ 102 වන වගන්තිය යටතේ වන කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවන්ද, ඊට අනුරූපීව 1 වන, 2 වන, 3 වන සහ 10 වන නොතීස්ලත් පාර්ශවයන්ට එරෙහිව ආදායම් අඩු කිරීම සම්බන්ධයෙන් වෙන් වෙන්ව අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ වන චෝදනාවන්ද, එකී චෝදන වලට අනුබල දීම සම්බන්ධයෙන් වෙන් වෙන්ව, 11 වන, 12 වන සහ 13 වන නොතීසිලත් පාර්ශවයන්ට එරෙහිව අල්ලස් පනතේ 70 වන වගන්තිය සමග කියවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 102 වැනි වගන්තිය යටතේද චෝදනා ගොනු කිරීම සලකා බැලීම සුදුසු බව කොමිෂන් සභාවේ නිර්දේශය වේ.
(3) මුහුදු ආරක්ෂකයින්ගේ අවි පුහුණුව සහ නිපුනත්ව සහතික ඉදිරිපත් කිරීමේ ව්‍යාපාරයක් කිරීමට අවසර දීම සහ බලපත්‍ර නිකුත් නොකිරීම මගින් වාර්ෂික බද්ධ අහිමි කිරීම සහ අනුශාංගික කරුණු.
මෙම කරුණ සම්බන්ධයෙන්ද ඉදිරිපත් වූ සාක්ෂිද, නොතීසිලත් පාර්ශවයේ ලිඛිත සැලකිරීම්ද ඇතුළු කරුණු සලකා බැලීමෙන් සහ ඉහත කර ඇති විශ්ලේෂණයන් අනුව ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විස් සමාගමට නීත්‍යානුකූලව අවසර දීය නොහැකි සීමාර්ෂල්වරුන්ගේ අවි පුහුණුව සහ නිපුනත්ව සහතික නිකුත් කිරීමේ කටයුත්ත සදහා 10 වන නොතීසිලත් පාර්ශවය වන දමයන්ති ජයරත්න, 3 වන නොතීසිලත් පාර්ශවය වන ගෝඨාභය රාජපක්ෂ යන දෙදෙනා අවසර දී ඇති අතර, විවිධ අවස්ථවන්වලදී අවි 17ක් තුවක්කු ආඥා පනතේ විවිධිවිධාන ප්‍රකාරව නිකුත් කරන ලද බලපත්‍ර නිකුත් නොකර, භාවිතා කිරීමට 10 වන නොතීසිලත් පාර්ශවය අවසර දී ඇති බවට සාක්ෂි හෙළිදරව් වී ඇත. මෙම අවසරයන් ලබා ගැනීමට 13 වන නොතීසිලත් පාර්ශවය ඉහත් කී 10 වන නොතීසිලත් පාර්ශවයන් සමග එක්වී ක්‍රියාකර ඇති බවට එකී සාක්ෂි තුලින් හෙළිදරව් වී ඇති බව කොමිෂන් සභාවේ නිගමනය වේ.
මෙම අවි පුහුණුව හා නිපුනත්ව සහතික ප්‍රධානය කිරීමේ ව්‍යාපෘතිය 1998 අංක 45 දරණ පුද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන විධිමත් කිරීමේ පනතෙහි 18 වන වගන්තිය යටතේ ප්‍රකාශිත 1999 අංක 1 දරණ රෙගුලාසි වල 9 (ආ) රෙගුලාසියට පටහැනිව අවසර දී ඇත. එකී රෙගුලාසි මෙසේ සදහන් වේ.
“The setting up of any private training institute for the provision of training in security with the issuance of profieiency certificates shall not be permitted.”
මේ අනුව එකී රෙගුලාසි ප්‍රකාරව තහනම් කර ඇති යම් කර්තව්‍යක් සිදු කිරීම අදාල රෙගුලාසි කඩ කිරීමක් වන අතර, 1998 අංක 45 දරණ පනතින් 16 (අ) වැනි වගන්තිය යටතේ එය වරදක් වේ.
මෙම වරද සම්බන්ධයෙන්10 වන නොතීසිලත් පාර්ශවය සෘජුවම වගකිවයුතු බව සාක්ෂි තුලින් හෙළිදරව් වී ඇත. එසේ වුවද මෙම කාරණය සම්බන්ධයෙන් 3 වන නොතීසිලත් පාර්ශවයට එරෙහිව ඇත්තේ ඔහුගේම සාක්ෂිය පමණක් වේ. එය මෙම කොමිෂන් සභාවේ දී ඔහු විසින් ස්වෙච්ඡාවෙන් ලබා දී ඇති සාක්ෂියක් වන බැවින් සභාවේ දී 3 වන නොතීසිලත් පාර්ශවයට එරෙහිව භාවිතා කිරීමට හැක. එසේ වුවද අපරාධ නඩුවක දී එම සාක්ෂිය 3 වන නොතීසිලත් පාර්ශවයට එරෙහිව භාවිතා කිරීමට නීත්‍යානුකූල හැකියාවක් නොමැත.
ඒ අනුව 3 වන, 10 වන සහ 13 වන නොතීසිලත් පාර්ශවයන් මෙම රෙගුලාසිවලට පටහැනිව මුහුදු ආරක්ෂකයින්ගේ පුහුණු ව්‍යාපෘතියක් කරගෙන යාමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 113 ආ සහ 102 වගන්තිය සමග කියවිය යුතු වරද ද, ඊට අමතරව 10 වන නොතීසිලත් පාර්ශවයට එරෙහිව එම වරද සිදු කිරීමේ ප්‍රධාන චෝදනාවක්ද, 3 වන සහ 13 වන නොතීසිලත් පාර්ශවයන්ට ඊට අනුබල දීමේ චෝදනාවන්ද ඉදිරිපත් කිරීම සලකා බැලීම සුදුසු බව මෙම කොමිෂන් සභාවේ නිර්දේශය වේ.
එසේ වුවද, 3 වන නොතීසිලත් පාර්ශවය සම්බන්ධයෙන් මෙම නිර්දේශයට අනුව අපරාධමය නඩු කටයුත්තක් ගොනු කිරීමට පෙර මෙම පරීක්ෂණයේ දී 3 වන නොතීසිලත් පාර්ශවයේ සාක්ෂි තුලින් හෙළිදරව් වූ ඔහුම මෙම සිද්ධියට සම්බන්ධ වන කරුණු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කර අධිකරණයට ඉදිරිපත් කළහැකි සාක්ෂි හෙළිදරව් වීමක් කරගතයුතු වේ.
මීට අමතරව, මෙම පුහුණු කටයුතු සඳහා තුවක්කු 17ක් රට තුලට ආනයනය කොට අවි පුහුණු කටයුතු සඳහා භාවිතා කර ඇති බවත්, එම අවි තුවක්කු ආඥා පනත යටතේ, තුවක්කු වන බවට රජයේ රස පරික්ෂකද පරීක්ෂා කොට සනාථ කර ඇත. මෙම අවි 17 ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විස් සමාගමට හෝ එහි සභාපති වන 13 වන් නොතීසිලත් පාර්ශවයට සන්තකයේ තබා ගැනීම සඳහා හෝ අවි පුහුණුව සඳහා භාවිතා කිරීමට තුවක්කු ආඥා පනතේ විධිවිධාන ප්‍රකාරව එකී පනත යටතේ නිසි බලපත්‍රයක් අදාල බදු අය කිරීමකින් පසුව නිතුක් කර නැති බව සාක්ෂි තුලින් හෙළිදරව් වී ඇති බව කොමිසන් සභාවේ නිගමනය වේ.
ඒ අනුව මෙම අවි 17 භාවිතා කිරීම නිසි බලපත්‍රයක් නොමතිව සිදුකර ඇති අතර, ඒ සම්බන්ධයෙන් 13 වන නොතීසිලත් පාර්ශවයට සහ ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට එරෙහිව තුවක්කු ආඥා පනත යටතේ චෝදනා ගොනු කිරීම සලකා බැලීම සුදුසු බව කොමිසන් සභාවේ නිර්දේශය වේ.
තවද, 10 වන නොතීසිලත් පාර්ශවය මෙම අවි රට තුලට ගෙන ඒමට මෙන්ම පුහුණුව සඳහා භාවිතා කිරීම සඳහා ඇය විසින් නිකුත් කරන ලද හුදු ලියවිල්ලක් නිකුත් කර ඇත. මෙමගින් තුවක්කු ආඥා පනතේ බල පත්‍රයක් නිකුත් කිරීමේ දී අය කරගනු ලබන වාර්ෂික බද්ධ අයවීම මගහරීමක් සිදුව ඇත.
ඒ අනුව 10 වන නොතීසිලත් පාර්ශවය සහ 13 වන නොතීසිලත් පාර්ශවය මෙසේ රජයට අයවිය යුතු වාර්ෂික බලපත්‍ර ගාස්තුව අයවීම මගහැරීමට ක්‍රියාකර ඇති බැවින් අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ වන දූෂණය නමැති වරද සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවක් මෙම නොතීසිලත් පාර්ශවයන් දෙදෙනාට එරෙහිව ගොනුකිරීමටද, 10 වන නොතීසිලත් පාර්ශවයට එරෙහිව අදාල ප්‍රධාන වරද සිදු කිරීම සම්බන්ධයෙන්ද 13 වන නොතීසිලත් පාර්ශවයන්ට එරෙහිව අදාල වරද සඳහා අනුබල දීමේ චෝදනාව ගොනු කිරීම සලකා බැලීම සුදුසු බව මෙම කොමිෂන් සභාවේ නිර්දේශය වේ.
(4) රැල් ආයතනය සතු තුවක්කුවක් සඳහා තුවක්කු ආඥා පනත යටතේ බලපත්‍ර නිකුත් නොකිරීම හා අනුශාංගික කරුණු
රජයේ හමුදාව සහ පොලීසි සන්තකයේ තිබෙන අතිරික්‍ත අවි පැ. 17 (i) සිට පැ. 17(xvi) දරණ ලේඛන මගින් රැල් ආයතනයට විකුණා හෝ පැවරීමක් සිදු කර ඇත. මෙම අවිවල අයිතිය එම විකිණීමෙන් හෝ පැවරීමෙන් පසුව වෙනම නීතිමය පුද්ගලයෙකු වන රැල් සමාගමට එකී අවි වල සහතිකය ලැබීම හේතුවෙන් තුවක්කු ආඥා පනත ප්‍රකාරව නිසි බලපත්‍ර එම අවි සඳහා ලබා ගතයුතු වේ. මීට පෙර විශ්ලේෂණය කර ඇති ආකාරයට රැල් ආයතනයට මෙම අවි පාලිත ප්‍රනාන්දු යන අයගේ ලිපි මත විකිණීම හෝ පැවරීම සිදු වී ඇති අතර, නොතීසිලත් පාර්ශවයන්ගේ ස්ථාවරය වූයේ රැල් ආයතනය 100%ක් රජයේ කොටස් හිමි ආයතනයක් වීමද, මීට පෙර අවස්ථාවන් වලදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට, වනජීවී දෙපාර්තුමේන්තුව වැනි ආයතනවලට මේ අකාරයට අවි නිකුත් කර තිබීම යන පූර්වාදර්ශය අනුව කටයුතු කළ බවයි. එම පෙර අවස්ථාවලදී රජයේ ආයතන වලට එම ආයතන වල ආරක්ෂක කටයුතු සඳහා භාවිතා කිරීමට අවි ලබා දීමක් සිදු කර ඇති අතර, ඒ අවි ලබා දෙන අවස්ථාවේදීම එම අවි සන්තකයේ දැරීමට අවසරයද එම ලිපිවලින් හෝ ඊට සමාන වෙනත් ලිපි මඟින් ප්‍රකාශිතව ලබා දී ඇත.
එසේ වුවද, රැල් ආයතනයට අවි විකිණීම සදහා පාලිත ප්‍රනාන්දුගේ ලිපිවල ආරක්ෂක ලේකම්ගේ අනුමැති ඇති බව එහි සඳහන් වීම හේතුවෙන් මිලට ගැනීමට හෝ ලබා ගැනීමට යම් අවසරයක් ලැබී ඇතැයි සඳහන් වන නමුත්, එම අවි රැල් අයතනයේ අයිතියට හෝ සන්තකයට පත් වීමෙන් අනතුරුව සන්තකය දැරීමට හෝ පාවිච්චි කිරීමට කිසිඳු අවසරයක් එම ලිපි තුලින් ලබා දී නැත. තවද, රැල් ආයතනය මෙම අවි ලබාගෙන ඇත්තේ එම අවි භාවිතා කොට වාණිජ්‍යමය කටයුත්තක් සඳහා යොදවා ලාභ ලැබීම සඳහා වේ.
තවද, වෙනම නීතිමය පුද්ගලයෙකු වන රැල් සමාගමට මෙසේ වාණිජ කටයුතු සඳහා යෙදවීමට අවි ලබා දී තිබීමත්, රැල් ආයතනයට තුවක්කු ආඥා පණතේ 51 අ වගන්තිය යටතේ තුවක්කු ආඥා පණතේ විධිවිධාන වලින් බැඳි සිටීම සහ 46 වැනි වගන්තිය යටතේ වන නිදහස් කිරීමට අදාල නොවීම යන නීතිමය ප්‍රතිපාදන හේතුකොටගෙන අනිවාර්යයෙන්ම තුවක්කු ආඥා පණත යටතේ වන බලපත්‍ර තිබිය යුතු වේ. එසේ බලපත්‍ර මෙම ස්වංක්‍රීය අවි 3473 සම්බන්ධයෙන් ලබා ගෙන නැත. ඒ අනුව රැල් ආයතනය මෙම ස්වංක්‍රීය අවි සන්තකයේ තබා ගැනීම තුවක්කු ආඥා පණතේ විධිවිධාන වලට අනුකූලව සිදුකර නැත. මෙම අවි මුහුදු ආරක්ෂකයින් සමග රැගෙන යන සෑම අවස්තාවකදීම ඒ සදහා අවසරයක් 10 වන නොතීසුලත් පාර්ශවය විසින් නිකුත් කර ඇත.
මෙසේ නිකුත් කර ඇති අවසරය මගින් රැල් ආයතනයේ සන්තකයේ තබා ගැනීම නීත්‍යානුකූල වීමක් සිදුවන්නේ නැති බව කොමිෂන් සභාවේ මතය වේ.
ඒ අනුව මෙම ස්වංක්‍රීය අවි රැල් ආයතනයේ සන්තකයේ තබා ගැනීම සහ භාවිතා කිරීම තුවක්කු ආඥා පණතේ 22(1) වගන්තියේ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීමක් බවද නිරීක්ෂණය විය.
මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ අදාල රැල් ආයතනයට ලබා දීමේදී 2 වන නොතීසිලත් පාර්ශවය වන පාලිත ප්‍රනාන්දු ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරී වශයෙන්, ආරක්ෂක ලේකම් වෙනුවට මෙම අවි සම්බන්ධයෙන් ලිපි නිකුත් කිරීමත්, එම අවි සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලය තිබූ අතිරේක ලේකම්වරිය වන 10 වන නොතීසිලත් පාර්ශවය නිසි බලපත් නිකුත් කිරීමට පියවර නොගැනීමත් යන් හේතුව නිසා බව හෙළිදරව් විය.
ආරක්ෂක ලේකම් වූ 3 වන නොතීසිලත් පාර්ශයවය, පාලිත ප්‍රනාන්දු යන අයට මෙම අවි විකිණීම හෝ පැවරීම සම්බන්ධයෙන් අනුමැතිය දීම මත ඉන් ඔබ්බට තුවක්කු ආඥා පනත යටතේ බලපත්‍ර නිකුත් කිරීමට පියවර අනුගමනය කිරීමක් සිදු වී නැත. මෙම පසුබිම යටතේ රැල් ආයතනය යම් ආකාරයකට රජය සම්බන්ධ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ වන ආයතනයක් වීම හේතුකොට ගෙන තුවක්කු ආඥා පනත යටතේ නඩු පැවරීමට නීත්‍යානුකූලව හැකියාවක් තිබුණේ වුවද, ඒ වෙනුවට නිසි බලපත්‍ර තුවක්කු ආඥා පනත යටතේ නිකුත් කොට, අදාල අවි රැල් ආයතනයට ලැබූ දින සිට අයවිය යුතු වාර්ෂික බදු රජයට බැහැර කිරීමට අවශ්‍ය පියවර ගැනීම සුදුසු බව කොමිෂන් සභාවේ නිගමනය වේ.
තවද, මුහුදු ආරක්ෂක කටයුතුවලට අවි නිකුත් කිරීමේ කර්තව්‍යය හා ව්‍යාපාරය පූර්වාදර්ශයක් නොමැතිව සිදු කර ඇති අලුත් ව්‍යාපාර කටයුත්තක් බවට සාක්ෂි තුළින් හෙළිවරව් විය. මෙම කරුණද පෙර දැක්වූ අනෙක් කාරණාද සැළකිල්ලට ගැනීමේදී තුවක්කු ආඥා පනත යටතේ නිසි ක්‍රමවේදය අනුගමනය නොකිරීම මත එකී පනත යටතේ අපරාධමය චෝදනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කිසිදු නිර්දේශයක් කොමිෂන් සභාව විසින් සිදු කරන්නේ නැත.
ඒ අනුව අදාල තුවක්කු වලට බලපත්‍ර නිකුත් කොට තත්කාලයට සහ පෙර කාලයට අදාල බදු (බලපත්‍ර ගාස්තු) අය කර ගැනීමට බලධාරීන් ක්‍රියා කළයුතු බව මෙම කොමිෂන් සභාවේ නිර්දේශයයි.
වරදවල් සහ වැරදි ක්‍රියාවන් සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග
2015 මාර්තු 06 දිනැති අංක 1904/57 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් අතිගරු ජනාධිපතිතුමා විසින් මෙම කොමිෂන් සභාව පත් කිරීමේ අරමුණු අතර වරදවල් සහ වැරදි ක්‍රියාවන් සිදුකර තිබීම සම්බන්ධයෙන් වගකිවයුතු තැනැත්තන්ට එරෙහිව ගත යුත් ක්‍රියාමාර්ග වෙතොත් ඒ පිළිබඳව කොමිෂන් සභාවේ නිර්දේශය සහ එබඳු වරදවල් හා වැරදි ක්‍රියාවන් ඉදිරියේ සිදුවීම වලක්වාලීමේ අරමුණින් කරනු ලබන නිර්දේශ අතිගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ යුතු වේ. …”
“…. වරදවල් සහ වැරදි ක්‍රියාවන් සිදුකර තිබීම සම්බන්ධයෙන් වගකිවයුතු තැනැත්තන්ට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග
(1) පෙර කොටසේ නිර්දේශ කර ඇති පරිදි 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, සහ 13 නොතීසිලත් පාර්ශවයන්ට එරෙහිවද අපරාධමය නඩු කටයුතු, ගොනු කළයුතු බව කොමිෂන් සභාවේ නිර්දේශය වේ. ඒ අනුව නඩු කටයුතු ගොනු කිරීම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා ගරු නීතිපතිවරයාට සහ අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත අදාල විමර්ශන සහ පරීක්ෂණ සටහන් යොමු කිරීම සුදුසු බව මෙම කොමිෂන් සභාවේ මූලික නිර්දේශය වේ.
(2) මෙම වාර්තාව සකසන අවස්ථාව වනවිට මෙම පරීක්ෂණයට භාජනය වූ 3 වන සහ 10 වන නොතීසිලත් පාර්ශයවන් ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉවත්ව ඇත.
10 වන නොතීසිලත් පාර්ශවය මෙම පරීක්ෂණය අවසාන භාගය වන විට වෙනත් අමාත්‍යාංශයකට අනුයුක්තව සිට නිසි අවසරයකින් තොරව විදේශ ගත්වී ඇති බවට තොරතුරු හෙළිදරව් වී ඇත. 1 වන සහ 2 වන නොතීසිලත් පාර්ශවයන් රැල් ආයතනයෙන් සහ 2 වන නොතීසිලත් පාර්ශවය ආරක්ෂක අමාත්‍යාංශයේ අදාල තොරතුරුවලින් ඉවත් වී ඇති බවටද කරුණු හෙළිදරව් විය. 11 වන සහ 12 වන නොතීසිලත් පාර්ශවයන් ඒ වනවිටත් නාවික හමුදාපති වරුන් වශයෙන් කටයුතු කර විශ්‍රාම ගොස් සිටි අය විය.
ඒ අනුව මෙම අයට එරෙහිව මෙහි නිර්දේශිත පරිදි නීතිමය නීතිකෘතීන් ගොනු කිරීම හැර වෙනත් ගතහැකි ප්‍රායෝගික පරිපාලනමය පියවරක් නොමැති නමුත් එම අය ඉදිරියේදී රජයේ සේවයේ හෝ රාජ්‍ය ආයතනවල කිසිඳු පත්වීමක් ලැබීමට නුසුදුසු අය බව මෙම කොමිෂන් සභාවේ නිර්දේශය වේ. …”
“…. පොදුවේ තවදුරටත් ගතයුතු පියවර සම්බන්ධයෙන් නිර්දේශ
(1) තවද, මෙම පරීක්ෂණය පවත්වන අවස්ථාව වනවිට ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සතුව තිබූ ස්වයංක්‍රීය ගිනි අවි 3473 ක් රැල් ආයතනයට විකිණීමේ පදනම හෝ යම්කිසි පදනමක් මත බාර දී ඇති බවත්, එම අවි රැල් ආයතනය සන්තකයේ තිබෙන බවට සාක්ෂි තුලින් හොළිදරව් වී ඇත. මෙම අවි සම්බන්ධයෙන් තුවක්කු ආඥා පනතේ විධිවිධාන ප්‍රකාරව නිසි බලපත්‍ර නිකුත් කිරීමක් මේ දක්වා සිදු වී නැති අතර, එවකට අරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියගේ හෝ හමුදා සම්බන්ධීකරණ නිලධාරී වශයෙන් කටයුතු කළ පාලිත ප්‍රනාන්දුගේ ලිපි ප්‍රකාරව මෙම අවි රැල් ආයතනය සන්තකයේ දැරීම සිදු කර ඇති බව හෙළිදරව් වී ඇත.
ඉන් අනතුරුව මුහුදු ආරක්ෂක කටයුතු සඳහා මෙම අවි නිකුත් කරන සෑම අවස්ථාවක දීම වෙන් වෙන් වශයෙන් යම් අවසරයක් දීම සිදු කර ඇති බවට සාක්සියෙන් හෙළිදරව් වී ඇත. ඒ අනුව මේ සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ නිර්දේශ වන්නේ;
(අ) රැල් ආයතනය වෙත නිකුත් කර ඇති මෙම අවි 3473 න් එම ආයතනයේ මුහුදු ආරක්ෂක කටයුතු සඳහා අවශ්‍ය වන අවි ප්‍රමාණය කොපමණක්ද යන්න නැවත සමාලෝචනය කොට එම කටයුතු සඳහා අවශ්‍ය වන අවි ප්‍රමාණය සඳහා පමණක් නිසි බල පත්‍ර නිකුත් කොට එකී සන්තකය දැරීම සහ පාවිච්චි කිරීම තුවක්කු ආඥා පනතේ විධිවිධාන වලට අනුකූලව සිදු කිරීමට පියවර ගතයුතු බවත්,
(ආ) රැල් ආයතනය සන්තකයේ ස්වංක්‍රීය අවි විශාල ප්‍රමාණයක් ඇති බැවින් එම අවි ගබඩා කිරීම සහ නිකුත් කිරීම රජයේ හමුදාවක අධීක්ෂණයට යටත්ව පවත්වාගෙන යාමට නිසි ක්‍රම වේදයක් සකස් කළ යුතුයි. දැනටමත් යම් ආකාරයක ක්‍රමවේදයක් පවතින බව නිරීක්ෂණය කර ඇති අතර, එය තව දුරටත් ශක්තිමත් කළ යුතු වේ.
(ඇ) මෙතෙක් මුදල් ගෙවා නොමැති අවි සම්බන්ධයෙන් රජයට හිමි මුදල අය කර ගැනීමට පියවර ගැනීම වේ.
(2) ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගම සහ රැල් සමාගම අතර, ගිවිසුම් ගණනාවකට ඇතුලත් වී ඇති අතර, මෙම ගිවිසුම “X” ලෙස ලකුණු කර ඇති ගිවිසුම මගින් නැවත බලාත්මක කොට පවත්වාගෙන යාම සදහා රැල් ආයතනයේ වත්මන් සභාපතිද කටයුතු කර ඇත. ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගම මුහුදු ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන්, නිපුනත්වයක් ඇති ජාතික වශයෙන් ආර්ථිකයට දායකත්වය ලබා දෙන සහ රැකියා අවස්ථා සලසන පුද්ගලික ආරක්ෂක සේවා සපයන සමාගමක් බව සාක්ෂි තුළින් හෙළිදරව් විය. එසේ වුවද මෙම සමාගමට මුහුදු ආරක්ෂකයින් සැපයීම සම්බන්ධයෙන් අනිසි සහ නීත්‍යානුකූල නොවන අර්ථලාභයක්, අනුග්‍රහයක් හෝ වාසියක් ලැබෙන ආකාරයට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ අතිරේක ලේකම් යන අයගේ සෘජු මදිහත් වීම සහ බලපැම හේතුකොටගෙන විශේෂයෙන් නාවික හමුදාවේ ඉහළ නිල්ධාරීන් සහ ඒ ඒ කාල වල සිටින ලද නාවික හමුදාපතිවරුන්ද තීන්දු තීරණ ගැනීමේ දී ඇවන්ට්ගාඩ් සමාගමට අනිසි මෙන්ම අයුතු වාසියක් සැලසෙන ආකාරයට කටයුතු කර ඇති බවට මෙම කොමිෂන් සභාවේ දී සාක්ෂි තුළින් හෙළිදරව් වී ඇත.
මෙසේ ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට වාසිදායක වන ආකාරයට පියවර ගන්නා ලද කාලවල සිටි නාවික හමුදාපතිවරුන්ට ඔවුන් විශ්‍රාම යාමත් සමග ඉතා ඉහළ වැටුප් සහිත ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගමේ රැකියා ලබා දී ඇත. මෙකී කරුණ ඉහත ආකාරයට කටයුතු කිරීමට එක් හේතුවක් බව ගම්‍ය විය.
තවද, 10 වන නොතීසිලත් පාර්ශවය වන දමයන්ති ජයරත්න සහ 3 වන නොතීසිලත් පාර්ශවය වන ගෝඨාභය රාජපක්ෂ යන දෙදෙනා ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට අවි ගබඩා කිරීමේ ව්‍යාපෘතිය බාර දීම සහ ඉන් අනතුරුව සීමාෂල්වරුන් ලංකාව තුළින් ලබා ගැනීමට අදාල චක්‍රලේකන ස්වාභාවයේ දැනුම්දීම් මෙම ව්‍යාපාර ක්ෂේත්‍රයට නිකුත් කිරීම තුළින් ද අවි පුහුණුව සහ ප්‍රවීණතා සහතිකයක් නිකුත් කිරීමට ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට නීත්‍යානුකූල නොවන ආකාරයට ලබා දීමත් එම ආයතනය මගින් නිකුත් කරන නිපුනත්ව සහතිකයට රාජ්‍ය ලාංඡනය ඇතුලත් කිරීමත්, ඊට අමතරව එකී සහතිකයට ආරක්ෂක අමාත්‍යාංශ සහ නාවික හමුදාවේ නිලධාරීන් අත්සන් කිරීම තුළින් ලංකාව තුළ මුහුදු ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් නියාමනය කිරීමේ මට්ටමට ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගම පත්වන ආකාරයට පසුබිම සකසා ඇති බවට සාක්ෂි තුලින් හෙළිදරව් විය. මීට අනුරූපීව රැල් ආයතනය සහ ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගම අතර ඇතුලත් වී ඇති බද්ධ ගිවිසුම් අනුසාරයෙන්ද දේශීය සහ විදේශීය සීමාෂල්වරුන් යොදවා ගැනීම මෙන්ම රැල් ආයතනයේ අවි මෙම කටයුතුවලට යෙදවීමේ දී ද ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට අනිසි පාලනයක් සහ බලයක් ලැබෙන ආකාරයට ගිවිසුම්ගත වීමට 1 වන සහ 2 වන නොතීසිලත් පාර්ශවයන් ක්‍රියාකර ඇති බව ද හෙළිදරව් වී ඇත.
තවද, ගිවිසුම්ගතවීම සම්බන්ධයෙන් අදාල නොතාරිස්වරුන් දෙදෙනෙකු සාක්ෂි දී ඇති අතර, ඔවුන්ගේ සාක්ෂිවලට අනුව මෙම හිවිසුම් අත්සන්කිරීම නිසි ක්‍රමවේදයකින් තොරව අක්‍රමික ලෙස 1 වන සහ 2 වන නොතීසිලත් පාර්ශවයන් විසින් සිදු කර ඇති බවට කරුණු හෙළිදරව් විය.
රැල් ආයතනයේ එදිනෙදා ව්‍යාපාර කටයුතුවලට සෘජු බලපෑම් ඇතිවා මෙන්ම දීර්ඝ කාලීන බලපෑමක් ඇති කාර්යයන් සම්බන්ධයෙන් වන බද්ධ ගිවිසුම් වලට ඇතුලත් වීමේ දී ඒ සම්බන්ධයෙන් අධ්‍යක්ෂක මණ්ඩලය දැනුවත් කිරීමක් හෝ අවසරයක් ලබා ගැනීමකින් තොරව 1 වන සහ 2 වන නොතීසිලත් පාර්ශවයන් බොහෝ අවස්ථාවලදී කටයුතු කර ඇති බවට සාක්ෂි පරීක්ෂණයේදී හෙළිදරව් වේ.
ඒ අනුව “X” දරණ ගිවිසුම මගින් 2014 දෙසැම්බර් මාසය වනවිට පැවති විවිධ බද්ධ ව්‍යාපාර ගිවිසුම් නැවත් ස්ථාපනය කර ඇත. එසේ උවද, නිසි නීතිමය කරුණු සැලකිල්ලට ගෙන මෙම බද්ධ ව්‍යාපාර ගිවිසුම් දෙපාර්ශවයටම පාඩුවක් නොවන ආකාරයට නැවත් සලකා බැලීම සුදුසු බව මෙම කොමිෂන් සභාව විසින් නිර්දේශ කරනු ලැබේ.
(3) තවද, රජයට කොටස් හිමි සමාගම් සංස්ථාපනය කිරීමෙන් අනතුරුව එවැනි සමාගම් වලට වාණිජ්‍යමය වශයෙන් විශේෂ වරප්‍රසාද සහ වාසි ලබා ගැනීමට අවස්ථාව සැලසීමක් සිදුවන බව මෙම පරීක්ෂණයේදී හෙළිදරව් විය. රජයට 100% ක් කොටස් හිමි වූයේ වුවද, මෙවැනි සමාගම් ස්වාධීන නීතිමය පුද්ගලයන් වශයෙන් ක්‍රියාකරනු ලබන අතර, එහි පරිපාලනය අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් සිදු කරනු ලබන අතර, එදිනෙදා කටයුතු වලින් ලැබෙන ආදායම් ලාභාංශය වශයෙන් වෙන් කලායින් පසුව පමණක් රජයේ ආදායමට එය බැරවේ. එසේ කරන තෙක් අදාල ආදායම් සහ ලාභාංශය එම නීතිමය පුද්ගලයා වන සමාගම සතුව පවතින අතර, එය කෙසේ භාවිතා කරන්නේද යන්න අධ්‍යක්ෂ මණ්ඩලය සහ පරිපාලනය කරනු ලබන පුද්ගලයන් විසින් තීරණය කරනු ලැබේ. එම වකවානුවේ මෙවැනි රජයට කොටස් හිමි සමාගම්වල විගණනය කිරීම විගණකාධිපති විසින්ද සිදු කිරීමට නීතිමය ප්‍රතිපාදනයක් තිබී නැත. එම පසු බිම යටතේ “රජයේ සමාගම්” යන සංකල්පයට යටත්ව එවැනි ව්‍යාපාර කටයුතු වාණිජ්‍ය ලෝකයේ අනෙකුත් සමාගම්වලට හිමි වරප්‍රසාදවලට වැඩි වරප්‍රසාද භුක්ති විඳිමින් වාණිජ්‍යමය කටයුතු වලට යෙදීමට අවස්ථාවක් ලබා ගන්නා බව රැල් ආයතනයට අදාල පරීක්ෂණයේ දී හෙළිදරව් විය.
තවද, මෙම සමාගම් වලද පරිපාලනයට අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු අනෙකුත් අය පත් කරනු ලබන්නේ අදාල අමාත්‍යාංශයේ ලේකම් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා යන අය විසින් බවට ඒ ඒ සමාගම් සංස්ථාවලියෙන් තීරණය කරඇත.
මෙම පරීක්ෂණයට අදාලව පැවති කාල සීමාව තුලදී ලේකම්වරයා පත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කර ඇති අතර, නිරායාසයෙන් එම දේශපාලන නැඹුරුතාවයට සහයෝගය දක්වන අය විශේෂයෙන්ම වැදගත් අමාත්‍යාංශවල ලේකම්වරුන් ලෙස පත් කිරීම සිදු වී ඇත. එසේ පත් කරනු ලබන අය මෙවැනි වාණිජ්‍යමය ව්‍යාපෘතීන් සඳහා නිරායාසයෙන්ම ඔවුන්ට කිසියම් හෝ ආකාරයක් පක්ෂග්‍රාහී බවක් දක්වන අය පත් කිරීම සිදුවී ඇත. මෙම ක්‍රියාවලියන් තුලින් රජයේ සමාගම්වල පරිපාලනය සහ ක්‍රියාකාරීත්වය පවතින දේශපාලන අධිකාරියේ අවශ්‍යතාවය අනුව යොදවා ගැනීමේ වාතාවරණයක් හා ප්‍රවණතාවයක් තිබුණ බව කොමිෂන් සභාවේ දී හෙළිදරව් විය.
තවද, මෙම පරීක්ෂණයේදී හෙළිදරව් වූ කරුණක් වූයේ රැල් ආයතනයේ සේවකයන් ඔවුන්ගේ කැමැත්ට ඇතිව හෝ නැතිව එවකට බලයේ සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරන කටයුතු සඳහා යොදවාගෙන ඇති බවය. මීට අමතරව, රැල් ආයතනයේ වාහන මෙන්ම අනිකුත් වත්කම් මෙම දේශපාලන කටයුතු සඳහා සෘජුවම යොදවා ගැනීමට කටයුතු කර ඇති බවද හෙළිදරව් විය. මෙම කාර්යයන් එම ආයතනයේ සභාපති වන 2 වන නොතීසිලත් පාර්ශවයද, ප්‍රධාන විධායක නිලධාරි වන1 වන නොතීසිලත් පාර්ශවය මෙන්ම සාක්ෂිකරුවෙක් වශයෙන් ගෙන්වූ ජෙනරාල් ජයසුන්දර යන අයගේ මූලිකත්වයෙන් සිදුකර අති බව හෙළිදරව් විය. මීට අමතරව මෙම ආයතනයේ සේවය කරන අය කැඳවා ආයතනයේ වියදමින් වැඩමුළු මුවාවෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හට පක්ෂව කටයුතු කරන ලෙසට ප්‍රචාරන වැඩමුළු පැවැත්වීමද 1 වන නොතීසිලත් පාර්ශවය වන එගොඩවෙල සිදු කර ඇත. මෙම කරුණුවලින් හෙළිදරව් වන්නේ රැල් ආයතනයේ පරිපාලනයට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ මූලිකත්වයෙන් පුද්ගලයන් පත් කිරීම සිදු කර ඇති බවත්, එම අය ඔවුන්‍ට පත්වීම ලබා දුන් දේශපාලන අධිකාරියේ දේශපාලන මතවාදය දිනවීමට සහ ප්‍රවර්ධනය කිරීමට සෘජුව එම ආයතනයේ වත්කම් හා සේවකයින් භාවිතා කර ඇති බවත්ය.
තවද, සමාගමක් වශයෙන් ස්ථාපනය කිරීමෙන් පසුව 100% ක් කොටස් රජය සතු වුයේද, මුල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් රජයේ මූල්‍ය රෙගුලාසි සහ අනෙකුත් පරිපාලනමය සීමා ඒ ආකාරයෙන්ම බලපවත්වන්නේ නැති බැවින් එවැනි සමාගම්වල මුදල් හා වත්කම් අයුතු ලෙස දේශපාලන කටයුතුවලට යොදා ගැනීමේ ඉඩ ප්‍රස්ථාව අනෙකුත් රාජ්‍ය ව්‍යවසායන්ට වඩා වැඩි බව කොමිෂන් සභාවේ නිරීක්ෂණයක් විය.
තවද, එසේ දේශපාලන කටයුතුවල යොදවාගත් සේවකයන් ඔවුන්ගේ අකමැත්තෙන් වුවද ඔවුන්ගේ රැකියාව බේරා ගැනීම සඳහා සහභාගී වූ බව හෙළිදරව් කරඇත.
තවද, රැල් ආයතනයේ සභාපති වශයෙන් කටයුතු කළ පාලිත ප්‍රනාන්දු යන අය ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරී වශයෙන්ද, පත් වීමක් ලබා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වන 3 වන නොතීසිලත් පාර්ශවය යටතේ සෘජුවම සේවය කර ඇත. එසේම 3 වන නොතීසිලත් පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද 3 ව 27 දරණ ලේඛනයද, 3 ව 24 දරණ ලේඛනයද, පරීක්ෂා කිරීමේදී පාලිත ප්‍රනාන්දු, ජෙනරාල් ජයසුන්දර සහ එගොඩවෙල යන අය 3 වන නොතීසිලත් පාර්ශවය සමග සමකාලීනව යුධ හමුදාවේ සේවය කර ඇති බව හෙළිදරව් වේ.
මේ අනුව 3 වන නොතීසිලත් පාර්ශවය විසින් රැල් ආයතනයේ පරිපාලනයට 1 වන සහ 2 වන නොතීසිලත් පාර්ශවයන් පත් කර සිටීම තුලින් ඔහුට මෙම ආයතනය සම්බන්ධයෙන් සෘජු බලපෑමක් ඇති කිරීමේ හැකියාවක් තිබී ඇත. ඒ අනුව මෙම කොමිෂන් සභාවේදී හෙළිදරව් වූ සාක්ෂි අනුව රජයට කොටස් හිමි සමාගම් ස්ථාපනය කොට එහි පරිපාලනය සඳහා දේශපාලන අධිකාරිය විසින් හැසිරවීමට හැකි අය පත් කිරීම තුලින් දේශපාලන අධිකාරියේ අවශ්‍යතාවය අනුව මෙහෙය වීමක් සිදුවී ඇති බව හෙළිදරව් විය. එසේ හෙයින් මෙම කොමිෂන් සභාවේ නිර්දේශය වන්නේ රජයට බහුතර කොටස් හිමි සමාගම් ස්ථාපනය කිරීමක් සිදු කර ඇති අවස්ථාවකදී එහි අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා පත් කිරීම් සිදු කිරීම ස්වාධීන මඬුල්ලක් මගින් සිදු කළ යුතු බවය.
තවද, මෙවනි රජයේ බහුතර කොටස් හිමි සමාගම් වල විගණන කටයුතු විගණකාධිපති විසින් අධීක්ෂණයක් කළ යුතු බවත්, වැඩි දුරටත් මෙම කොමිෂන් සභාවේ නිර්දේශය වේ.(19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව විගණකාධිපතිවරයාට මෙම බලය ලැබී ඇත.)
(4) මුහුදු ආරක්ෂකයින් සැපයීමේ කටයුත්ත යන ව්‍යාපාරය නිසි ආකාරයෙන් නියාමනය කිරීමට සහ ඒ සඳහා යොදවා ගනු ලබන ගිනි අවි සම්බන්ධයෙන් අවශ්‍ය රෙගුලාසි හා නීතිමය ප්‍රතිපාදන සම්පාදනය කළ යුතු බව මෙම කොමිෂන් සභාවේ නිර්දේශය වේ.
දේශීය පුද්ගලික ආරක්ෂක සමාගම් සතු තුවක්කු සඳහා, තුවක්කු ආඥා පනත යටතේ වන ප්‍රතිපාදන ප්‍රකාරව අවශ්‍ය බලපත්‍ර නිසි ආකාරව නිකුත් කිරීම සිදු කළ යුතු බවත්, ඊට අදාල වාර්ෂික බදු අයකර ගැනීමද සිදු කළ යුතු බවද මෙම කොමිෂන් සභාවේ නිර්දේශය වේ.
(5) රැල් ආයතනය එනම් රත්නා ලංකා ආරක්ෂක සමාගම, සමාගම් පනත යටතේ සංස්ථාගත කර අති සමාගමක් වන බැවින් එහි කොටස් රජය සතු වන්නේ වුවද, 1998 අංක 45 දරණ පුද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන විධිමත් කිරීමේ පනත යටතට එන ව්‍යාපාරයක් බවට එකී පනතේ 21 වන වගන්තියේ අර්ථකතනය අනුව පෙනී යයි. ඒ අනුව එකී පනත යටතේ රැල් ආයතනය ලියාපදිංචි කිරීම සිදු කිරීම කළ යුතු බව මෙම කොමිෂන් සභාවේ නිර්දේශය වේ. …”
“…. වරදවල් හා වැරදි ක්‍රියාවන් ඉදිරියේදී වැළක්වීමේ අරමුණින් කරනු ලබන නිර්දේශ
මෙම පරීක්ෂණයේ දී හෙළිදරව් වූ සාක්ෂි අනුව පෙනී ගිය ප්‍රධානතම කරුණක් වූයේ සමාගම් පනත යටතේ වන රජයේ කොටස් හිමි ආයතන ස්ථාපනය කිරීමත්, මෙම ක්‍රියාදාමය තුලින් රජයේ ආයතන වලට බලපාන මූල්‍ය පරිපාලනය ලිහිල් වීමක්ද, මෙම සමාගම තුලින් ලැබෙන ආදායම ලාභාංශ වශයෙන් රජයට ලැබීම ඒ ඒ අවස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණය අනුව රඳා පැවතීම තුලින් මූල්‍ය පරිපාලනය මෙන්ම ආදායම ලැබීම සම්බන්ධයෙන් රජය වෙත ඇති පාලනය දුර්වල වීමක් නිරීක්ෂණය විය. න්‍යායාත්මක වශයෙන් රජයේ කොටස් හිමි සමාගම් පනත යටතේ වන ආයතන වල පරිපාලනය සහ තීරණ ගැනීම රජය කොටස්කරුවන් වශයෙන් නම් කරනු ලැබූ හෝ පත් කරනු ලබූ අධ්‍යක්ෂවරුන් මගින් සිදු කළ හැකි වුවත්, ප්‍රායෝගිකව දේශපාලන අධිකාරියේ අවශ්‍යතාවය අනුව එම ආයතන හැසිරවීම සහ පරිපාලනය සිදුවන බව, සහ සිදු කර ඇති බවට කරුණු හෙළිදරව් විය.
ඒ අනුව මෙම ආයතනවල වත්කම් සහ මුදල් සහ සේවාවන් ඒ ඒ ආයතන වල අවශ්‍යතා හෝ රජයේ නීත්‍යානුකූල අවශ්‍යතාවයන්ට හැර පුද්ගලික දේශපාලන අවශ්‍යතා අනුව අවභාවිතා කිරීමට අවකාශ මෙම ක්‍රියාදාමය තුලින් සැලසී ඇති බවට මෙම පරීක්ෂණයේදී හෙළිදරව් වූ කරුණක් විය.
ඒ අනුව මෙම ආයතන වල වත්කම් සහ මුදල් සහ සේවාවන් ඒ ඒ ආයතන වල අවශ්‍යතා හෝ රජයේ නීත්‍යානුකූල අවශ්‍යතාවයන්ට හැර පුද්ගලික දේශපාලන අවශ්‍යතා අනුව අවභාවිතා කිරීමට අවකාශය මෙම ක්‍රියාදාමය තුලින් සැලසී ඇති බවට මෙම පරීක්ෂණයේ දී හෙළිදරව් වූ කරුණක් විය. ඒ අනුව මෙම අවභාවිතාවය වැලැක්වීම් වස් අදියර දෙකකදී නිවැරදි කිරීමේ පියවර වශයෙන් මෙම කොමිෂන් සභාව නිර්දේශ කර සිටියේ එවැනි රජයට කොටස් හිමි සමාගම්වල මෙන්ම රාජ්‍ය ආයතන වල අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු ප්‍රධාන පරිපාලන නිලධාරීන් පත් කිරීමේ දී පොදු ක්‍රමවේදයක් සකසා, කැබිනට් මණ්ඩලය විසින් තීරණය කරනු ලබන බලධාරීන් මඬුල්ලක් මගින් මෙවැනි පත් කිරීම් සිදු කරන ලෙසත්, දෙවනුව රජයේ කොටස් හිමි සමාගම් පනත යටතේ වන සමාගම් අනෙකුත් රාජ්‍ය ව්‍යවසායන් මෙන් විගණකාධිපතිට විගණනය කිරීමේ පූර්ණ බලතල ලබා දීමත්, පාර්ලිමේන්තුවට මෙම ආයතන වගකිවයුතු ක්‍රමවේදයක් සලසීමත් වේ.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය මගින් මෙම නිර්දේශයන් බොහෝ දුරට සම්පූර්ණ වීමක් සිදු වී ඇති බවද මෙම කොමිසන් සභාව මේ අවස්ථවේ නිරීක්ෂණය කරනු ලැබේ….”
ඉහත කී සිද්ධිය පිළිබඳව මෙම කොමිෂන් සභාව විසින් පවත්වන ලද පරීක්ෂණය සම්බන්ධව 2016 සැප්තැම්බර් මස 01 දිනැති අවසන් වාර්තාව ඔබ තුමා වෙත මේ වන විටත් බාර දී ඇත. එකී වාර්තාව මෙම අවසන් වාර්තාවේ කොටසක් ලෙස සැලකිය යුතුය.
– ලංකා ටෘෘත් –
Add Comment