SRILANKAN NEWS

ආවා උතුරේ ඇහෙන්

questian ප්‍රශ්ණ ගැටළුආවා කල්ලිය ගැන කතා තවමත් අවසන් නැත. ආවා කල්ලියේ යැයි කියමින් දැන් අත්අඩංගුවට ගැනීම්ද කර ඇත. එහෙත් අපට තවමත් ඇති ප්‍රශ්නය ආවා ආවේ කොහෙන්ද යන්නයි. අපට පමණක් නොව එය උතුරටත් ඇති ප්‍රශ්නයකි.

ආවා කල්ලිය ගෝඨාභය රාජපක්ෂ නිර්මාණය කළ බව කීවේ අප නොවේ. ආණ්ඩුවේ නිල ප්‍රකාශකයා වන කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්නය. ඒ සාමාන්‍ය තැනක සිට නොවේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත මේන්තුවේ සිටය. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ සිටය. එතැන පමණක් නොව ඉන්පසු පාර්ලිමේන්තුවේදීත් ඔහු ඒ බව කීවේය. හිටපු හමුදා නිලධාරියෙකු ආවා කල්ලිය හැදීමට සම්බන්ධ බව ඔහු පැවසීය.

ආණ්ඩුව එසේ කියද්දී ඇමති රාජිත සේනාරත්නට තොරතුරු ලැබුණේ කොහෙන්දැයි සොයා බැලිය යුතු නැද්ද? ඔහු මේ ගැන දන්නේ නම් පරීක්ෂණ ආරම්භ කළයුත්තේ ඔහුගෙන්ම නොවේද? අනෙක් අතට තමන් ළඟ තියෙන තොරතුරු ඒ ඇමතිවරයා ආරක්ෂක අංශ වෙත ලබාදිය යුතු නැද්ද? රාජිත සේනාරත්න යනු මේ ආණ්ඩුවේ පමණක් නොව හිටපු ආණ්ඩුවේත් ප්‍රබල ඇමතිවරයෙකි.

ආවා කල්ලිය ගැන සොයා බලන්නට අපි යාපනයට ගියෙමු. අප උත්සාහ කළේ ආවා ගැන උතුරේ ජනතාව විශ්වාස කරන්නේ කුමක්දැයි දැනගැනීමටයි. බොහෝ දෙනෙකු එහිදී කීවේ ආවා කල්ලිය බුද්ධි අංශවලින් නිර්මාණය කර ඇති බවයි. එසේ කියන්නට සාක්ෂි තිබේදැයි අප විමසද්දී ඔවුන් ඇසුවේ රාජිත සේනාරත්න මහතාගෙන් එසේ නොවිමසන්නේ මන්ද කියායි.

ආවා කල්ලිය හමුදාවෙන් තැනුවායැයි කියන්නට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් ලැබී නොමැත. ඒ වුණත් බොහෝ දෙනෙක් එවැන්නක් විශ්වාස කරති. උතුරේ ජනතාව හමුදාව ගැන එසේ සැකකිරීම යළි අවිශ්වාසය ඇති කිරීමකි. ආවා භයානක වන්නේ ඒ නිසාය. ආවා සංවේදී මාතෘකාවක් වන්නේ ඒ නිසාය.

හොරු සහ ත්‍රස්තයෝ

ආවා කල්ලිය කුමනාකාරයේ කල්ලියක්ද යන්නත් තවම නිරවුල් කරගන්නට බැරිවී ඇති සෙයකි. කොල්ලකෑම් කරන කප්පම් ගන්නා කල්ලි ලංකාවේ ඕනෑ ගතරම් බිහිව තිබේ. ඒවා අල්ලන්නට නීති ඇත. කොල්ලකරුවන් ඇල්ලීම ලංකාවේ පොලීසියට අමාරු දෙයක් වූ බවට ඉතිහාසයේ සාක්ෂිද නැත. එහෙත් ආවා නම් කප්පම් කල්ලිය අල්ලන්නට ආණ්ඩුව පාවිච්චි කරන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතයි. ආණ්ඩුවට ත්‍රස්තවාදීන් සහ කොල්ලකරුවන් පැටලී ඇතිද?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සාමාන්‍ය නීතිය යටතේ අත්අඩංගුවට ගත යුතු අය අත්අඩංගුවට ගත් අවස්ථා ඕනෑතරම් ඇත. එහෙත් යහපාලන ආණ්ඩුව යටතේ මේ මොහොතේ එවැන්නක් සිදුවීම ආවා අවුල බරපතළ කිරීමකි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ අය අත්අඩංගුවට ගත්තත් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක පාර්ලිමේන්තුවේදී කීවේත් ආවා කල්ලිය කිසිදු ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ වී නැති බවයි.

අත්අඩංගුවට ගත් අයගේ පවුලේ උදවිය විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරනු ලැබ ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ අය අත්අඩංගුවට ගැනීමෙන් මානව හිමිකම් කඩවී ඇති බව කියමිනුයි.

රාවයට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් දෙමළ මහජන ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් කීවේ එල්ටීටීඊය නැවත එනවායැයි උතුරේ කීවොත් කිසිවෙකු විශ්වාස නොකරන බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ අය අත්අඩංගුවට ගන්නේ එල්ටීටීඊය ගැන බිය දකුණට පතුරවන්නට බවත්ය. මේ ගැන උතුරේ මිනිසුන්ගේ අදහසත් මෙබඳුය.

හමුදා සෙබළුන්

ආවා කල්ලියේ ලෙසින් අත්අඩංගුවට පත්වූවන් අතර හමුදා සෙබළුන් දෙදෙනෙකු සිට ඇත. කන්කසන්තුරේ පදිංචි පස්වැනි ඉංජිනේරු බලකායේ සාමාන්‍ය සෙබළ ඉන්ද්‍රකුමාර් නමැත්තා ළඟදී අත්අඩංගුවට ගත් හයදෙනා අතර සිටියේය. ඉන්ද්‍රකුමාර් කපිලන් ගැන තොරතුරු අපට ලැබුණේ පසුගිය සතියේය. එහෙත් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී උතුරු පළාත් යුද හමුදා ආඥාපතිවරයා පැහැදිලිව කීවේ හමුදාවේ කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැති බවයි. එසේවුවත් පසුව පාර්ලිමේන්තුවේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන කීවේ ආවා කල්ලියේයැයි අල්ලාගත් සෙබළා සේවයට මාස කිහිපයක් තිස්සේ වාර්තා නොකළ සෙබළෙකු බවයි. සේවය වාර්තා නොකළ බව කීවත් මේ සෙබළා නීත්‍යනුකූලව ඉවත් කර නැත. මේ සෙබළා යුද හමුදාවට බැඳී ඇත්තේ 2014 වර්ෂයේය. හමුදාවත් ආවා කල්ලියත් අතර ඇති ගැටලුව උතුරේ ජනතාව තුළ කුකුසක් ඇතිකරනසුලුය.

දැකලා නැහැ

ආවා කල්ලිය වැඩියෙන්ම සිටිනවායැයි කියන්නේ චුන්නාක්කම් නගරයේය.
අපි චුන්නාක්කම් වෙත ගියෙමු. එහෙත් චුන්නාක්කම්හි අප සමඟ කතා කළ කිසිවෙක් ආවා කල්ලිය දැක තිබුණේ නැත. ආවා කල්ලිය විසින් කළායැයි කියන අපරාධ ගැන නම් අසා තිබුණි. අප සමඟ මුලින් කතා කළේ නගරයේ පොත්හලක් පවත්වාගෙන යන මහතෙකි.

“කිසි කලබලයක් මෙහේ නැහැ. අපි දැකලාත් නැහැ එහෙම බයික් ගෲප් එකක් මේ නගරයේ. එයාලා කියනවා ආවා ගෲප් කියලා ගෲප් එකක් ඉන්නවා කියලා. අපි දැකලා නම් නැහැ. මෙහේ සිදුවීමක් කියලා වුණේ අර බුද්ධි අංශයේ දෙන්නාට ගැහුවා කියූ සිද්ධිය විතරයි. ඒක වුණේ කාගිල්ස් එක ළඟ තියෙන රෙදි කඬේක. එදා හොඳටම වැස්ස. සද්දයක් ඇහුණා. අපිට බලන්න විදියක් තිබුණේ නැහැ. වැස්ස නතර වුණාට පස්සේ අපි ඒ පැත්තට ගියා. යනකොට රෙදි කඩයේ තිබ්බ බෝනික්කෝ එහෙම එළියට ඇදලා දාලා කඬේ වීදුරු කඩලා දාලා තිබ්බා. අපි වුණ දෙයක් දැක්කේ නැහැ. ආවා ගෲප් කියලා ටීවී එකේ නිව්ස්වලට පෙන්නන ඒවා විතරයි අපි දකින්නේ. ඒ ඇර අපි මෙහේ ඒ වගේ ගෲප් එකක් දැකලා නැහැ. නිව්ස්වල ලොකු ලොකු බයික් පෙන්නනවා. ඒත් ඒ වගේ බයික් මේ පැත්තේ තියෙන්නේ සුළු ප්‍රමාණයකට. හැමකෙනාම වගේ පාවිච්චි කරන්නේ ස්කූටර්.”
මල්ලාකම් බස් නැවතුම්පළේ සිටි අයෙක් අප සමඟ කතාබහ කළේය.

“මේ පැත්තේ කිසි කලබයක් නැහැ. පත්තරවලයි ටීවී එකේ නිව්ස්වලින් තමයි මිනිස්සුන්ට කියන්නේ කලබල තියෙනවා කියලා. නිව්ස්වල තමයි කියන්නේ බයික්වල එනවා කියලා. මෙහේ පත්තරවල අද පළවෙන නිව්ස් තමයි හෙට කොළඹ පත්තරවලට ගන්නේ. අද දෙමළ පත්තරේක එක්කෙනෙක් මැරුණා කියලා නිව්ස් එකක් දැම්මා නම් හෙට සිංහල පත්තර 10ක් මැරුණා කියලා දානවා එයාලාගේ පත්තර විකුණගන්න. පත්තරවල නිව්ස් එක විතරයි තියෙන්නේ ආවා ගෲප් එකේ සාමාජිකයන් අල්ලලා කියලා. ඒත් එක්කෙනෙක්ගේවත් ෆොටෝ එකක්වත් දාන්නේ නැහැ. ඒත් පොඩි මංකොල්ලයක් වුණත් ඒ මනුස්සයාගේ ෆොටෝ එකක් පත්තරවල නිව්ස් එක්ක දානවා. ඒත් ඇයි ආවා ගෲප්වල අයගේ ෆොටෝ දාන්නේ නැත්තේ. එහෙම දැම්මා නම් අපට කියන්න පුළුවන් මේකේ ඉන්නේ කවුද කොහොම කෙනෙක්ද කියලා.”

අප බොහෝ දෙනෙකු සමඟ කතා කළ අතර ආවා කල්ලිය සිටිනවායැයි කියන නගර කිහිපයේම ඇවිද්දත් ආවා කල්ලිය දුටු අය නොවූහ. එහෙත් මිනිසුන් කපන, තර්ජනය කරන කණ්ඩායමක් වසර ගණනක් තිස්සේ සිටින බව ඔවුහු කියති.

“අපි දැකලා නැතත් එහෙම සිද්ධි වෙනවා. එක පාරම කාව හරි කපලා ගිහින් කියලා ආරංචි වෙනවා. ඒවා පෞද්ගලික දේවල් වෙන්නත් පුළුවන්. නැත්නම් සංවිධානාත්මක වැඩ වෙන්නත් පුළුවන්. ඒත් අපට තියෙන ප්‍රශ්නය ඒ අයව අල්ලන්නේ නැත්තේ ඇයි කියන එකයි. අනික මේවා අවුරුදු ගාණක් තිස්සේ වෙනවා. දැන් එකපාරම මේ අය ගැන ලොකුවට කතා කරන්න ගන්නේ වෙන හේතුවක් ඇතිව වෙන්න ඕන.” තාවඩි වල සිටි ව්‍යාපාරිකයෙකු එසේ පැවසීය.

“දැන් දෙමළ අය උද්ඝෝෂණය කරන්න පටන් ගත්ත නිසා ඒ අයව බයකරන්න තමයි මේවා වෙන්නේ.” ඔහු කතාබහ අවසන් කළේ එසේය. ඒ එම ව්‍යාපාරිකයාගේ අදහසයි. බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ ඒ කතාවයි. අවුරුදු ගණනක් තිස්සේ සිදුවූ දේවල් මර්දනය නොකර දැන් එක්වරම සිදුවන දේවල් නිසා ඔවුන් එසේ සිතයි.

දේශපාලනය

මේ වෙද්දී ආවා කල්ලියේයැයි කියාගත් සමාජ ජාල ප්‍රචාරක ව්‍යාපාරයක්ද ආරම්භ වී ඇත. දෙමළ අන්තවාදය ශක්තිමත් කරන ප්‍රකාශ සමඟ කලඑළි බැස ඇති පුද්ගල අනන්‍යතාවක් නැති ෆේස්බුක් ගිණුම් සඳහා කෙරෙන මේ ප්‍රචාරක ව්‍යාපාරය පිළිබඳවත් සොයා බැලිය යුතුය. මේ ආකාරයට උතුරේ දේශපාලනයට ආවා සම්බන්ධ වෙයි.

ආවා කල්ලිය උතුරේ නැඟී එන විරෝධතා රැල්ල මැඬපැවැත්වීමට ගෙතූ කතාවක්යැයි කියන්නේ උතුරේ දේශපාලනඥයන්ය. ඔවුන් විමසන්නේ ආවා කල්ලිය මැර කල්ලියක් නම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගැනීමට හේතුව කුමක්ද යන්නයි.

ගජේන්ද්‍රකුමාර් පොන්නම් බලම් නායකත්වය දරන දෙමළ ජනතා පෙරමුණේ පක්ෂ කාර්යාලය තුළදී ආවා කල්ලියේයැයි සැකපිට තරුණයෙකු අත්අඩංගුවට ගැනීම ආවා කතාව දේශපාලනය සමඟ ඈඳීමට සමත් විය. මේ තරුණයා ආවා කල්ලියට සම්බන්ධ අයෙකු හෝ එසේ නොවන අයෙකුයැයි කියන්නට ප්‍රමාණවත් සාක්ෂි නැත. තීරණය උසාවිය අතේය.

එහෙත් උතුරේ දේශපාලනඥයන් දෙමළ මාධ්‍ය හරහා කියන්නේ එළඟ තමිල් ව්‍යාපාරයේ ඉදිරි පෙළ සංවිධායකයෙකු නිසා මේ විසිඅට හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගත් බවයි. මේ අවිශ්වාසයද භයානකය. මේ වෙද්දී යාපනයේ විරෝධතා දැඩිවන්නේ මේ අවිශ්වාසය නිසාය. මේ අවිශ්වාසය නැති කරන්නට ආණ්ඩුව උත්සාහ ගත යුතුය. දෙමළ ජනතාවට සාමකාමීව විරෝධතා දැක්වීමට ඇති ඉඩ තහවුරු කළ යුතුය.

විග්නේශ්වරන්ලා ජාතිවාදි යෝයැයි කියමින් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ද මේ උතුරේ දෙමළ දේශපාලනඥයන්ට බැණවැදීම සුපුරුදු දෙයකි. එහෙත් ආණ්ඩුව දැන් කළයුත්තේ මේ දේශපාලනඥයන් සමඟ සාකච්ඡා කිරීමයි.

ආවා ලංකාව නැවතත් අඳුරු යුගයකට ගෙන යා යුතු නැත. ආණ්ඩුවේ නායකයන් තමන් සංහිඳියාවට කෙතරම් උනන්දුවක් දක්වන්නේදැයි ක්‍රියාවෙන් පෙන්විය යුතු අවස්ථාවක් වන්නේ ආවා කල්ලිය සම්බන්ධ සිදුවීමයි. ආවා කල්ලිය ගැන දකුණට ඇති විශ්වාසය පමණක් නොව උතුරට ඇති විශ්වාසයත් ඇවිළෙනසුලුය. ඒ ඇවිලෙනසුලු අදහස්වලට ඇවිළෙන්නට ඉඩ නොදීම ආණ්ඩුව සතු වගකීමකි.

තරිඳු උඩුවරගෙදර රේඛා නිලුක්ෂි හේරත්
රාවය