– නිලාන්දන්
පරිවර්තනය: රීසාහ් ජස්මින් (gtn sinhala)සහ අතුල විතානගේ (jdslanka)
ජාත්‍යන්තර නීති විශේෂඥයන් හා විනිසුරන් ගෙනැවිත් උතුරු පළාත් සභාව විසින්ම යුධ අපරාධ ගැන පරික්ෂණයක් පැවැත්විය හැකි ද යන්නත්, නීතිමය ප්‍රතිපාදන ඒ සදහා කෙසේ බලපාන්නේද යන්නත් සොයා බලන බව ද, දෙමළ ජනයාට සාධාරණයක් ඉටුකෙරෙන එකම මාර්ගය එය බව ද උතුරු පළාත් මහ ඇමති විග්නේස්වරන් පවසා තිබිණ. මීට වසර 32 කට ඉහත දී මන්නාරමේ වට්ටක්කන්ඩාල් ප්‍රදේශයේ සිවිල් වැසියන් 76 දෙනෙකු සමුහ ඝාතනයට ලක්කිරීම සිහිපත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් මහා ඇමතිවරයා මේ අදහස් පළ කළේය. උතුරු පළාත් සභාව මගීන් වර්ග සංහාරය පිළිබඳව යෝජනාවක් සම්මත කරගත් අවස්ථාවේ දී මා අවධාරණය කර සිටියේ වර්ග සංහාරය සනාථ කිරීමට නම් ඒ සඳහා අවශ්‍ය සාක්ෂි එක් රැස් කළ යුතු බවය. දැන් මහ ඇමතිවරයාම පළාත් සභාව මගින් යුද අපරාධ විමර්ෂණය කළහොත් හොඳ බව පවසයි. උතුරු පළාත් සභාවට සිය ධුර කාලය නිමා කිරීමට ඇත්තේ තවත් වසරක කාලයකි. එවැනි පසුබිමක මෙය හුදු දේශපාලනික ප්‍රකාශයක්ද? නැත්නම් ක්‍රියාවට නැංවිය හැකි ප්‍රායෝගික යෝජනාවක් ද?
මේ පිළිබඳව යාපන සරසවියේ නීති පිඨයේ උගතෙකු මෙන්ම බහුජන සංවිධාන ක්‍රියාධරයෙකු වන කුමාර් වඩිවේල් ගුරුපරන් සමග පැවති කෙටි කතා බහකදී ඔහු කියා සිටියේ “පළාත් සභාවේ බලතල සීමාව තුළ එලෙස කටයුතු කිරීමේ නීතිමය බාධාවන් ඇතිවිය හැකි මුත් ජනතාවගේ වරම ලබා ගත් මහ ඇමතිවරයා ලෙසත්, හිටපු විනිසුරුවරයෙක් යන පිළිගැනීම යටතේත්, විග්නේස්වරන් මහ ඇමතිවරයාට පළාත් සභාවෙන් පිටත මේ පිළිබඳ ක්‍රමවේදයක් සකස් කළ හැකි බවත්, එමෙන්ම දේශීය හා විදේශීය විශේෂඥ හා තාක්ෂණික උදව් ද ඔහුට ලබා ගත හැකි බවත්”ය.
නීති බිඳීමේ අවදානම දැරීම
එනම් මහ ඇමතිවරයා ලෙසින් කටයුතු කරමින් සිටියදීම පළාත් සභාවෙන් පිටතට පැමිණ දෙමළ මහජන සභාවට නායකත්වය දීමට මැදිහත් වූ අයුරින්ම – නීතිය නිශේධනය නොවන අයුරින් – නීතිමය වටපිටාව තුළ ඔහුට මේ සඳහා මැදිහත් විය හැකි ය. එහෙත් පසුගිය හත් වසරක කාලය තුළ දෙමල සමාජයේ මධ්‍යස්ථවාදීන් කිසිවෙක් රජයට දැනෙන හෝ රිදෙන පරිදි නීති නිෂේධනය කරන්නා වූ කිසිදු අරගලයක් හෝ විරෝධතා කිසිවක් පවත්වා නැත. මෙය තවත් ගැඹුරින් පවසන්නේ නම් ගෙවීගිය හත් වසර පුරා එවැනි අරගලයක් හෝ විරෝධතාවක් පැවැත් වූ බවට කිසිදු දෙමළ මධ්‍යස්ථවාදියෙකු අත් අඩංගුවට ගෙන නොමැත. නැතිනම් එවැනි අත් අඩංගුවට ගැනීමේ අවදානමක් ද කිසිවෙක් දරා නොමැත. විග්නේස්වරන් එවැනි අවදානමක් ගන්නේ නම් දෙමළ ජනතාව ඔහුගේ පිළි රූ ඉඳිකොට වැඳ නමස්කාර කරනු ඇත. නමුත් ඔහු වැනි අවදානමක් ගනු ඇත්තේද? ඔහු එවැනි අවදානමක් ගන්නේ නම් දේශීය හා විදේශයන් හි ජීවත්වන නීති විශේෂඥයන් සියලු දෙනා ඔහුව අනුගමනය කරමින් එම අවදානම ගනීවිද?
ඇත්තෙන්ම මේ එළැඹ ඇත්තේ දෙමළ නීති විශාරදයන් සහ නීතිඥයන් පෙරට වඩා අවදානමක් ගත යුතු කාලයකි. ජන සංහාරය සනාථ කිරීමට අවශ්‍ය විද්‍යාත්මක තොරතුරු හා දත්ත එක් රැස් කර නීතිමය තර්කයන්ට අනුව සම්පාදනය කළ යුතු කාලයකි, මේ. දැනට යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට සම්බන්ධ සිවිල් ජනයා සමග කෙරෙන සාකච්ඡා හමුවීම්වල දී එක් කරුණක් කෙරෙහි අවධානය යොමු කෙරේ. එනම් පීඩාවට පත් ජනයා වෙනුවෙන් ගොඩනගා ඇති සංවිධාන රැසකට නීති උපදේශකයන් කිසිවෙකු නොමැති බව ය. එම සංවිධාන කටයුතු බොහෝ විට පදනම් වන්නේ පීඩාවට පත් වූ ජනයා වෙනුවෙන්ම ය. මේ පිළිබඳව මා ලියු අදහසකට කදිම පිළිතුරක් සමාජ මාධ්‍ය ඇසුරු කරන සගයෙකු විසින් දී තිබිණි. එනම් අදාළ සංවිධානවල ක්‍රියාධරයන් පළමුව සංවිධාන සංකල්ප ගත කළ යුතු බවකි.
ඉකුත් වසරේ අවසන් භාගයේදී පමණ මඩකලපුවේ පැවති රැස්වීමක දී මඩකලපුව හා අම්පාර දිසාවන්ට අයත් අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීහු නීතිවේදීන් හමු වූහ. ඒ හමුවෙන් පසු දින අම්පාරේ පැවති තවත් හමුවකදී පීඩාවට පත් ජනයා නියෝජනය කරනු ලබන සංවිධානවල කාන්තාවන්ගෙන් මෙසේ විමසනු ලැබිණි: “වසර ගණනාවක සිට අතුරුදහන් සිටින ඔබලාගේ ඥාතීන් සොයා යන මේ දුෂ්කර ගමනේ ඔබලාට මෙතෙක් කොපමණ දෙනෙක් මුණ ගැසී ඇත්ද?’ ඊට මෙසේ පිළිතුරු ලැබිණ: ‘අපි ගාණක් නොදනිමු. නමුත් අපේ දුක කියන්නට අපි බොහෝ දෙනෙක් හමුවී ඇත්තෙමු’. ‘මෙවැනි හමුවීම්වලින් වඩාත් ප්‍රයෝජනවත් හමුවීම් මොනවාදැ’යි යළි ත් විමසනු ලැබිණ. ඊට ඔවුන් සියල්ලන්ගේම පිළිතුර වුයේ ඊට පෙර දින මඩකලපුවේ දී නීතිඥවරියක හා සිදු වූ හමුවීම වඩාත් විශ්වාසදායක හා ප්‍රයෝජනවත්ම හමුවීම බව ය. ඔවුන් වැඩි දුරටත් සඳහන් කර තිබුණේ පීඩාවට පත් වූ ජනයාට නීතිමය වශයෙන් යුක්තිය හා සාධාරණය දිනා ගැනීමත්, වන්දි ලබාගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව නීතිමය දැනුවත් කිරීහත් වඩාත් වැදගත් බවයි.
මේ ආකාර වූ නීතිඥයන්ගේ සහාය අවශ්‍ය බව දෙමළ ජනතාව වෙසෙන පෙදෙස්වල සිටින පීඩාවට පත්වුවන්ගේ සංවිධාන දැන් මනා ලෙස වටහාගෙන තිබේ. අතුරුදහන්වුවන් පිළිබඳව ක්‍රියාත්මක සංවිධාන මේ වනවිටත් නීතිවේදීන්ගේ සහය ඉල්ලමින් ඇත්තේ ඒ නිසා ය. උතුරු පළාත් සභාවට මේ සඳහා මැදිහත් විය හැකි බව මගේ අදහසයි. දෙමළ මහජන සභාවටත්, දෙමළ නීතිවේදීන්ගේ සංගමයටත් මේ සඳහා මැදිහත් වීමේ වගකීමක් ද තිබේ. විශේෂයෙන්ම, බහුතර නීතිඥයන් සංඛ්‍යාවක් තමන් සතුව සිටින දෙමල ජාතික සන්ධානය ද, මේ වෙනුවෙන් අනිවාර්ය සහයෝගය ලබාදිය යුතුවේ. ඊට අමතරම දෙමළ ජාතික ජනතා පෙරමුණට ද මීට එක් වීමට හැකි ය.
නීති ආධාර
කුමාරපුරම් සමුහ ඝාතනය පිළිබඳ නඩු විභාගය ආරම්භයේ දී පැවැත්වුනේ ත්‍රිකුණාමල අධිකරණයේදී ය. කෙටි කලකින් එය අනුරාධපුරයට මාරු කර යැවිණ. අදාළ නඩු විභාගය යළි ත්‍රිකුණාමලයට මාරු කරවා දෙන ලෙස කුමාරපුරම් වින්දිතයන් විසින් දෙමළ දෙමල ජාතික සන්ධානයේ ඉහළ පෙලේ නීතිඥයෙකු දෙවරක්ම මුණගැසී ඉල්ලා තිබිණි. එහෙත් ඔහු ඊට සහයෝගය ලබා දෙන්නට ඉදිරිපත් නොවීය. එපමණක් නොව යුද්ධයෙන් පීඩාවට පත් ජනයා පිළිබඳව සංඛ්‍යාලේඛන, දත්ත එක්රැස් කිරීමේ අරමුණින් දෙමළ ජාතික සන්ධානය විසින් බම්බලපිටියේ කාර්යාලයක් විවෘත කළේය. එහි කටයුතු ක්‍රියාත්මක වුයේ ලන්ඩන් නුවර සිට ලැබුණු මුදල් ආධාර මත ය. එහෙත් විශේෂයෙන් සඳහන් කළ යුතු කිසිවක් එහි සිදු නොවුණි. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙකු පවසන ආකාරයට මෙම කාර්යාලය උතුරු නැගෙනහිර පළාත්වලින් කොළඹ පැමිණෙන පිරිස නවාතැන් ගන්නා ‘ලොජ් එකක්’ ලෙස පැවතුණි. එවැනි තත්ත්වයක් තුළ ඉකුත් හත් වසරක කාලය පුරාම පීඩාවට පත් ඊළම් දෙමල ජනයා අතර නීති ආධාර සිදුකරන සංවිධාන පැවතියේ ඉතාමත්ම සුළු ප්‍රමාණයකි. ඒ, මානව හිමිකම් සඳහා වූ නිවහන (HHR) සහ මානව හිමිකම් හා සංවර්ධනය සඳහා වූ මධ්‍යස්ථානය (CHRD) වැනි සංවිධාන පමණි.
ඊළම් දෙමළ ජනයා අතර ක්‍රියාත්මක වෙමින් සිටි HHR, 1977 ආරම්භ කරන ලද්දකි. මෙය මෙරට පැරණිතම මානව හිමිකම් සංවිධානවලින් එකකි. පසුගිය වසර අවසන් කාලයේදී කැනඩාවේදී මියගිය HHR නිර්මාතෘ මෙන්ම ඊළම් දෙමළ ජනයා අතරින් බිහිවූ පුරෝගාමී මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ෆ්‍රැන්සිස් ක්‍ෂේවියර්ගේ අභාවය පිළිබඳව අවශ්‍ය වැදගත් කමකින් හා ගෞරවයකින් යුතුව සිහිපත් කෙරුණේ ද නැත. ඇතැම් මාධ්‍යන්හි වැඩි අවධානයක් යොමු නොවූ පුවතක් ලෙස එය පළකර තිබිණි. ලන්ඩන් නුවර සිට පවත්වාගෙන යන ‘පොංගු තමිල්’ වෙබ් අඩවියේ පමණක ගුණානුස්මරණීය එක් ශෝකී ලිපියක් පළ කර තිබිණි. ජාතික ප්‍රශ්නය පිළිබඳව දශක හතරක පමණ කාලයක් එක් රැස් කළ දත්ත හා තොරතුරු HHR සතුව තිබේ. වර්ග සංහාරය යනු සිව්වන ඊළම් යුද්ධය අවසානයේ දී පමණක් සිදුවූ දෙයක් නොව, ඊට පෙර පැවති ඊළම් යුද්ධවලදී ද අහිංසක දෙමළ ජනයා සමුහ වශයෙන් ඝාතනය කරනු ලැබූ සිද්ධින් රාශියකි. ඉතා දිගු කුරිරු ලැයිස්තුවක් වන මෙම සිද්ධීන්ගෙන් සැළකිය යුතු ගණනක දත්ත හා තොරතුරු HHR සතුව ඇති බවට විශ්වාස කළ හැකි ය. අවාසනාව වන්නේ පසුගිය සැප්තැම්බරයේ සිට මෙම ආයතනයේ කටයුතුවල ද යම් පසුබෑමක් දැකිය හැකිව තිබීම ය.
HHR ද ක්‍රියාත්මක නොවන පසුබිමක නීතිඥ එස් කේ රත්නවේල්ගේ CHRD පමණක් දැනට පීඩාවට පත් ජනයාගේ අධිකරණ හා නීතිමය කටයුතු ඉදිරියට ගෙන යමින් සිටි. දැනගන්නට ලැබෙන තොරතුරු අනුව එහි කටයුතු ද කරගෙන යනු ලබන්නේ ඉමහත් මුල්‍යමය දුෂ්කරතා මැද ය. CHRD බොහෝ විට මැදිහත් වනුයේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සම්බන්ධ නඩු හා රජය හෝ රජයේ හමුදා විසින් බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගත්වුවන්ගේ ඉඩම් අයිතිය සම්බන්ධ නඩු වෙනුවෙනි. අනෙකුත් බොහෝ නඩු සම්බන්ධයෙන් මැදිහත් වීමට අවශ්‍ය ආයතන දෙමළ ජනයා අතර නොමැත. CHRD පමණක් තනිව මැදිහත් විය නොහැකි තරමේ නඩු ප්‍රමාණයක් තමන් සතුව ඇති බව කුමාරපුරම් සමුහ සංහාරයෙන් පීඩාවට පත් ජනයා සමග කටයුතු කරන බහුජන ක්‍රියාධරයෙකු ලියුම්කරු සමඟ පැවසිය. HHR සහ CHRD තම නඩුකටයුතු වෙනුවෙන් මැදිහත්වන නීතිඥවරුන් වෙත වැටුපක් ලබා දෙති. එහෙත් කිසිදු දීමනාවක් අපේක්ෂා නොකරන එවැනි කටයුතු ස්වේච්ඡාවෙන් ඉටුකරන නීතිඥයන් ද මේ අතර සිටි. HHR සමග වැඩ කළ නීතිඥයන් හතක හෝ අටකට නොඅඩු ප්‍රමාණයක් දැනටමත් වෙනත් ආයතන සමග එක්ව කටයුතු කරමින් සිටිති. ඔවුන් සියලු දෙනාම එක්කොට නීති ආධාර සංවිධානයක් ක්‍රියාත්මක කිරීමට අදාළ අංශවල විශේෂඥයන් ඉදිරිපත් විය යුතු ය. හිටපු විනිසුරුවරයෙක් වන විග්නේස්වරන් මේ ගැන අවධානය යොමු කරනු ඇතිද යන්න තවමත් විවෘත පැනයකි.
‘කළු කෝට් දේශපාලනය’
HHR ක්‍රියාත්මක නොවන පසුබිමක ඒ සතු වූ බිම් මටටමේ සමාජ සම්බන්ධතා ජාලය බිඳ වැටීමේ අවදානමක් ද පවතී. එම ජාලය නඩත්තු කරනු ලැබූ ක්‍රියාධරයෝද ද වෙනත් සංවිධාන හා සම්බන්ධ වී සිටිති. එමෙන්ම ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට යුක්තිය ලබා ගැනීම වෙනුවෙන් ප්‍රයෝජනවත් වසර 40 ක පමණ කාලයක දත්ත හා තොරතුරු රැසක් ද ඔවුන් සතු ය.
දෙමළ දේශපාලනයේ දී නීතිවේදීන් සම්බන්ධ දේශපාලනයට උපහාසාත්මකව කියන්නේ ‘කළු කෝට් දේශපාලනය’ කියා ය. නමුත් මෙය දැඩි විමර්ශනයට ලක් කිරීමේදී මේ තුළ මානව හිමිකම් ක්‍රියාධරයන්ගේ දිගුවක් ද දැකිය හැකි ය. සාමුහික ක්‍රියාවලියක් තුළ දී මේ කියන නීතිඥයන් මුදලට සහ ජනප්‍රියතාවයට ගිජු බවක් දැක්වුයේ නැත. නමුත් මානව හිමිකම් ක්‍රියාකාරීත්වයන්ට දායක වූ නීතිවේදීන්ගේ නම් සමාජය තුළ එතරම් ප්‍රසිද්ධයක් ලබා නොමැත. නීති ක්‍ෂේත්‍රය තුළින් තමන් උපයාගත් මුදල් හා ජනප්‍රියභාවය දේශපාලනය තුළ ආයෝජනය කරන නීතිඥයන් පමණක් මෙසේ ජනතාව අතර ප්‍රසිද්ධියට පත් වේ. එතරම් ජනප්‍රියතාවයක් නොමැති නීතිවේදීන් විසින් දෙමළ ජනයාට අවශ්‍ය යුක්තිය ලබා ගැනීමට හැකි දත්ත හා තොරතුරු එක් රැස් කිරීමට වැඩි දායකත්වයක් ලබා දිය යුතු වේ. මෙවැනි නීතිවේදීන් ඒකරාශී කිරීමට විග්නේස්වරන් සමත් වනු ඇත්තේද? පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ඥානාන්විතව ක්‍රියා කොට විද්‍යාත්මකව දත්ත රැස් කිරීමේ කටයුත්ත ඔහු විසින් ආයතනගත කරනු ඇත්තේද? මේවා පිළිතුරු සපයාගත යුතු විවෘත පැනයන් ය.
මේ පිළිබදව මා මීට පෙරත් ලියා තිබේ. මානව හිමිකම් සඳහා වූ දත්ත පරීක්ෂා කරන ජාත්‍යන්තර සංවිධානය වැනි සංවිධානවල සහාය මහ ඇමතිවරයා විසින් ලබාගනු ඇත්තේද? දේශපාලන සිරකරුවන්, රැඳවුම්කරුවන් සහ රැඳවුම ්භාරයේ සිට නිදහස්වුවන්ට අවශ්‍ය නීතිමය ආධාර ලබා දිය හැකි සංවිධානයක් ඔහු විසින් පිහිටුවනු ඇතිද? අවම වශයෙන් දෙමළ මහජන සභාවවත් මේ සදහා මැදිහත් කරගනු ඇත්ද? මා විසින් මතු කරන කේන්ද්‍රීය වැදගත්කමක් සහිත ප්‍රශ්න මේවා ය.
ලිට්මස් පරීක්‍ෂාවක්?
මුල්ලිවෛක්කාල් දක්වා ගොස් දිවි ගළවාගෙන වට්ටුවාල් පාලම පසුකර පැමිණි ජන කොටසකට ව්‍යවස්ථා කෙටුම්පත් සහ වික්‍රමාන්විත කතාවලින් පමණක් විසඳුම් නොලැබෙනු ඇත. විනිසුරුවරයෙකු වී සිට දේශපාලනඥයෙකු බවට පරිවර්ථනය වූ විග්නේස්වරන් පීඩිත දෙමළ ජනයාට නීතිඥවරුන්ගේ සහාය දැඩිව අවශ්‍ය මොහොතක තමන් සතු ජ්‍යෙෂ්ඨත්වය, නිපුණත්වය, හැකියාව හා පිළිගැනීම මෙන්ම තමන් ලද මහත් ජනවරම යටතේ නීතිඥයන් එක් ආයතනයකට එක් රැස් කිරීමේ අවධානම ඔහු විසින් දරනු ඇත්තේද යන්න අපි නිරීක්‍ෂණය කළ යුතු වෙමු.
හිටපු විනිසුරුවරයෙකු ලෙස එය ඔහුටම හිමි ක්‍රියා පරාසයකි. ඇතැම් විට එය පවත්නා නීති රෙගුලාසි නිෂේධනය කිරීමක් ද විය හැකි ය. එය විග්නේශ්වරන්ගේ නායකත්වය මැන බලන ලිට්මස් පරීක්ෂාවක් ද විය හැක්කේ එබැවිනි.☐
Add Comment