SRILANKAN NEWS

හයිබ්‍රිඩ් අධිකරණයක් ප්‍රායෝගික නෑ

ශ්‍රී ලංකාවේ සිදුවීයයි කියනු ලබන යුද අපරාධ සොයාබැලීම සඳහා හයිබ්‍රිඩ් අධිකරණයක් ප්‍රායෝගික නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

‘ජාතික නීති සතිය -2017‘ නීතිඥ සංකීර්ණ ගොඩනැඟිල්ලේ සංවිධානය කර තිබුණු උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

හයිබ්‍රිඩ් අධිකරණයක් අපට අවශ්‍ය වන්නේදැයි ප්‍රශ්න කළ අග්‍රාමත්‍යවරයා සැබවින්ම අපට හයිබ්‍රිඩ් අධිකරණයක් ස්ථාපිත කළ හැකිද, එවන් යෝජනාවක් ගෙන ආවොත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබාගැනීමට හැකිවේද, එසේ නොමැතිනම් ව්‍යවස්ථා සංශෝධනයකට යාමට සිදුවේද ආදී ගැටළු මතුවන බව ඔහු මෙහිදී සිහිපත් කළේය.

එමෙන්ම සත්‍ය සහ සංහිඳියා කොමිසම තුළින් මෙරට ජාතික ගැටළුවට අදාළ ප්‍රශ්න රැසකට  පිළිතුරු ලැබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

එහිදී දකුණු අප්‍රිකානු ආකෘතිය අධ්‍යයනය කරමින් එහි වැදගත් කරුණු අපට අනුගත කර ගත යුතු බවද ඒ මහතා කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

‘‘අගවිනිසුරු පත් කිරීමේ ක්‍රියාවලියෙන් පෙන්නුම් කරන්නේ අප ඇති කර තිබෙන පද්ධතියේ ස්ථාවරභාවයයි. ඒ සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට අපේ ප්‍රණාමය හිමිවිය යුතුයි.සංහිඳියාව ඇතිකරලීමේදී සත්‍යය සහ සංහිඳියා කොමිසමක් මඟින් බොහෝ ගැටළු විසඳා ගත හැකි බව පෙනී යන කරුණක්. අප මෙහිදී දකුණු අප්‍රිකානු ආකෘතිය දෙස පරීක්ෂාවෙන් බැලිය යුතුයි. එහි දුර්වලතා මෙන්ම, ශක්තිමත් අංග අප රටට ගැළපෙන ආකාරයට සකස් කර ගැනීම අවශ්‍යතාවක්. වසර 30 ක් යුද්ධ කළ අපිට තවත් වසර 30 ක් එහි සිදුවූ දෑ ගැන සටන් කළ නොහැකියි. අසාධාරණයට ලක්වූ සහ පීඩාවට ලක්වූවන්ගේ ගැටළුවලට කඩිනම් විසඳුම් ලබාදිය යුතුයි. ඔවුන්ට වන්දි ලබා දීමත් නැවත සමාජගත කරලීමත්, සිදුකළ යුතු අතර, සංහිඳියා ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා යුතු ආකාරය පිළිබදව අප අවධානය යොමුකළ යුතු වනවා.’’

මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලධාරීන් මෙන්ම නව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ද සහභාගී වුණි.

සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම සකස් කරන ලද නීති අත්පොත ප්‍රකාශයට පත් කිරීම ද මෙහිදී සිදුකෙරුණි.

එහිදී අදහස් දැක්වූ නව අගවිනිසුරුවරයා කියා සිටියේ නීතියේ පිළිසරණ ලබා ගත හැකි විකල්පයන් පිළිබදව ජනතාව දැනුවත් කළ යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

‘‘අධිකරණය වෙත යාම ගැටුම් විසඳාලීමේ එකම විකල්පය නොවේ. ඒ සඳහා අතීතයේදී පවා විවිධ විකල්පයන් පැවතුණා. ගම් ප්‍රධානීන් එක්වී ගැටුම් විසඳාලීමේ ගම්සභා ක්‍රමය ඊට උදාහරණයක්. වර්තමානයේ ඊට පවතින විකල්පයන් පිළිබදව ජනතාව දැනුවත් විය යුතුයි. එමෙන්ම, අපේ නීති පද්ධතිය සහ එහි ප්‍රවණතාවන් මෙන්ම සංශෝධනයන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අවශ්‍යතාවක්. මෙරට පවත්නා නීති රෙගුලාසි සහ ඒවායේ සංශෝධන දැන ගැනීම පහසු කරුණක් නොවේ. එම අවශ්‍යතාව වටහාගෙන ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අධිකරණ අමාත්‍යාංශය සහ රජයේ මුද්‍රණාලය නීති අත්පොත සකස් කිරීමට පියවර ගෙන තිබෙනවා. එහි වැදගත්ම කරුණ වන්නේ මෙතෙක් ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවති නීති රෙගුලාසි පිලිබදව සිංහලෙන් සහ දෙමළ බසින් ජනතාවට තොරතුරු ලබා ගැනීමට හැකිවීමයි.

– අද දෙරණ –