SRILANKAN NEWS

ප්‍රවාහන අමාත්‍යාංශයේ නව ලේකම් ජී. සේන විතානගේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් පත්කළ ජී. සේන විතානගේ මහතා ඊයේ (18) පෙරවරුවේ අමාත්‍යාංශ ලේකම් කාර්යාලයේ දී වැඩ භාර ගත්තේය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු වු විතානගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ බී.එස්.සී. උපාධිධරයෙකු හා කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් ද ලබා ඇත.

1984 වසරේ පරිපාලන සේවයේ නිලධාරියෙකු ලෙස ප්‍රථමවරට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවයට බැඳුණු විතානගේ මහතා අමාත්‍යාංශ ගණනාවක සහකාර ලේකම්, ජේෂ්ඨ සහකාර ලේකම් සහ අතිරේක ලේකම් ධූර හොබවා ඇති අතර වසර 2012 සිට 2015 දක්වා පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත්, 2015 සිට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්වන තුරු විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කර ඇත.