ARTICLES SRILANKAN NEWS

අතුරු වාර්තාව පිළිබඳ දෙමළ මහජන සභාවේ ස්ථාවරය..

දෙමළ ජාතික පරමාධිපත්‍ය පිළිබඳ ප්‍රශ්ණයට විසඳුම කුමක් දැයි දෙමළ පාර්ශවය විසින් පැහැදිළිව ඉදිරිපත් කර නොමැති බවට පොදුවේ එල්ලවූ ජාත්‍යන්තර චෝදනාවට පිළියමක් ලෙස දෙමළ ජාතික පරමාධිපත්‍ය ප්‍රශ්ණයට විසඳුමක් ඉදිරිපත් කිරීමේ කෙටුම්පතක් සැකසීමට දෙමළ මහජන සභාව පසුගිය 2016 ජනවාරි මස උප දේශපාලන කමිටුවක් පත්කර තිබුණි.

දිනපතා පැය ගණනාවක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව 2016 ජනවාරි 31 වනදා දේශපාලන විසඳුම පිළිබඳ පූර්ව කෙටුම්පතක් ජනතා යෝජනාව ලබා ගැනීමේ අරමුණින් ඉදිරිපත් කර තිබුණි.

දෙමළ මාතෘ භූමිය, ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තරයේ ජීවත් වන විවිද දෙමළ පාර්ශවයන් විසින් ලිඛිතව හා වාචිකව ලබාගත් විශාල ප්‍රමාණයේ අදහස් යෝජනා ඇතුලත් කර, ඉකුත් පූර්ව කෙටුම්පත අවසන් කෙරුණි. 2016 අප්‍රේල් මස 10 වනදා එහි අවසන් කෙටුම්පත අප විසින් එළිදක්වන ලදි.

මෙලෙස, දෙමළ ජනතාවගේ ඒකමතික සහභාගිත්වයෙන් සකසන ලද මෙම යෝජනා කෙටුම්පත, ශ්‍රී ලංකා පාර්ලිමෙන්තුවේ දෙමළ ජනතාව නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානය වෙත අප විසින් ඉදිරිපත් කරන ලදි. තවද ශ්‍රී ලංකා රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා මහජන අදහස් විමසන කමිටුවට ද අප විසින් සෘජුවම එය ඉදිරිපත් කර තිබුණි. තවද ඉන්දියාව, ඇමරිකාව, බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමය, නොර්වේ, ප්‍රංශය, ජෙර්මනිය, කැනඩාව සහ ඔස්ට්‍රෙලියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව වෙත ද එම කෙටුම්පත ඉදිරිපත් කෙරුණි.

දෙමළ මහජන සභාව සමස්ත දෙමළ ජාතිය නියෝජනය කරමින් ඉකුත් දේශපාලන විසඳුම් යෝජනාව එළිදැක්වූ බව උතුර සහ නැගෙනහිර පළාත්වල පවත්වන ලද “එලුහ තමිල්“ සමුළුවෙන් සනාථ වුණි. මෙම යෝජනාවට දහස් ගණනක දෙමළ ජනතාව සහාය පළ කරද තිබුණි.

ඒ අනුව, දෙමළ ජාතික පරමාධිපත්තිය ගැන වූ ප්‍රශ්ණයට විසඳුම මෙය බවට යළිත් වරක් අවධාරණය කෙරුණි.

මෙවැනි තත්වයකදී දෙමළ ජාතික පරමාධිපත්තිය ප්‍රශ්ණයට විසඳුමක් ලෙස දෙමළ මහජන සභාව විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ පාලන යෝජනාවේ අවධාරණය කරන ලද දෙමළ දේශයේ මූලික දේශපාලනික අයිතීන් වන – වෙන් නොවූ දෙමළ මාතෘ භූමිය, ස්වයං නිර්ණ අයිතිය, දෙමළ දේශය සඳහා වූ පිළිගැනීම යන කරුණු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කමිටුව විසින් නිකුත් කළ අතුරු වාර්තාවෙන් සම්පූර්ණයෙන් ප්‍රතික්‍ෂේප කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දෙමළ ජනතාව නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානය පවා, දෙමළ ජනතාවගේ මූලික දේශපාලන අයිතිවාසිකම පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු රැස්වීම්වලදී අවධාරණය නොකළ අතර, මෙම මූලික අයිතිවාසිකම් ප්‍රතික්‍ෂේප කිරීමේ ස්ථාවරයට සහාය ද පළ කර තිබේ.

මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවට තමන් ලබාදී ඇති පසු සටහනේදී, දෙමළ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ප්‍රතික්‍ෂේප කරන මෙම අතුරු වාර්තාව ප්‍රධාන පක්‍ෂ දෙකම පිළිගන්නේ නම් තමන් ද එය පිළිගැනීමට සූදානමින් සිටින බවට දෙමළ ජාතික සන්ධානය ලිඛිතව පොරොන්දුවී තිබීම ගැන කලකිරීමකට පත්වන්නෙමු.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් දෙමළ ජාතික පරමාධිපත්තිය පිළිබඳ ප්‍රශ්ණයට විසඳුමක් සෙවීම හැර ‘විසඳුම‘ මෙයයි යන කාරණාවේ දී ප්‍රථමයෙන් රජය සමග එකඟතාවයකට පැමිණිය යුතුයි. ඉන් අනතුරුව එම එකඟතාවය යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසිය යුතුයි යන්න දෙමළ මහජන සභාවේ ස්ථාවරය වේ.

දැන් නිකුත් කර ඇති ඉකුත් අතුරු වාර්තාවේ අන්තර්ගතය වන්නේ, ශ්‍රී ලංකාවේ ජීවත් වන සියළු ජන කොටස් ජාතික වශයෙන් අනන්‍යතාවය යටතේ පිළිනොගෙන, ශ්‍රී ලංකාවේ සියළු ජනතාවම ‘ශ්‍රී ලාංකිකයන්‘ යන අනන්යතාවය යටතට ගෙන එනු ලැබේ. සියළු ජන කොටසම ශ්‍රී ලාංකිකයන් යන අනන්යතාවය යටතේ හැඳින්වීමෙන් සිංහල බෞද්ධ ආධිපත්‍ය පමණක් තවඳුරටත් ශක්තිමත් කරනු ඇති බව ඉතිහාසය අපට අවබෝධ කරදී තිබේ. වැඩි බහුතරයක් සිංහල බෞද්ධ ජනතාව ජීවත් වන රටක ඉතිහාස ගතව ජාතික මතභේදයක් තිබෙන පසුබිමක ප්‍රජාතාන්ත්‍රික අගයන් මෙහි ආරක්‍ෂා නොවන හෙයින් මෙම අතුරු වාර්තාව දෙමළ මහජන සභාව සම්පූර්ණයෙන් ප්‍රතික්‍ෂේප කරයි.

ශ්‍රී ලංකා ප්‍රජාවන් යන මතයෙන් නොව දෙමළ දේශයේ පිළිගැනීමක් යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තිබිය යුතුයි යන්න අපගේ ස්ථාවරය වේ. එමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමට පෙර දෙමළ ජනතාව තනි පාර්ශවයක් ලෙසත්, ශ්‍රී ලංකා රජය තවත් පාර්ශවයක් ලෙසත් තෙවැනි පාර්ශවයක මැදිහත්වීමක් යටතේ සමාජ ගිවිසුමකට එළඹීමෙන් පමණයි දෙමළ දේශයේ මූලික අයිතිවාසිකම තහවුරු කරගත හැකි බව දෙමළ මහජන සභාවේ විශ්වාසයයි.

ඒ හේතුවෙන් දෙමළ මහජන සභාව විසින් නිකුත් කළ යෝජනා කෙටුම්පතයෙහි සමාජ එකඟතාවයක් මගින් දෙමළ දේශයේ පිළිගැන්වීම තහවුරු කළ යුතු බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේ කටයුතු සිදුකළ යුත්තේ ඉන් අනතුරුව බවත් අවධාරණය කර තිබේ.

දෙමළ ජාතික පරමාධිපත්තිය පිළිබඳ ප්‍රශ්ණයට විසඳුමක් ඉදිරිපත් කළ හැකි සමාජ ගිවිසුමක් මගින් පමණයි මෙම රටතුල ස්ථීර එක්සත්කම හා සාමය රැකගත හැකි බව ජාත්‍යන්තර ප්‍රජාව ද අවබෝධ කරගත යුතුයි. එමෙන් එවැනි සමාජ ගිවිසුමක සාධනීයත්වය සඳහා ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත්විය යුතු යැයි දෙමළ මහජන සභාව ඉල්ලා සිටියි.

03-10-2017
දෙමළ මහජන සභාව