SRILANKAN NEWS

යාපනයේ තියුණු අවි කල්ලිය – පැයක දෙකක් තුළ ස්ථාන හතරකදී ප්‍රහාර එල්ල කරයි.. – අටකට තුවාලයි

යාපනය දිස්ත්‍රික්කයේ තියුණු අවිගත් තවත් බිහිසුණු කල්ලියක් විසින් ඊයේ (14දා) රාත්‍රියේ ස්ථාන 4 කදී පුද්ගලයින් 8 දෙනෙකු කපා පලා යාම හේතුවෙන් යාපනය ජනතාව තුළ නැවතත් බියක් හටගෙන ඇත.

කෝන්ඩාවිල්, අරුකාල්මඩම්, නල්ලූරඩි, සහ මානිප්පායි යන ප්‍රදේශවල මෙලෙස ප්‍රහාර එල්ලවී තිබේ.

මේ අනුව ඊයේ දින රාත්‍රියේ මණිපායි පොලිස් වසමේ සංගුවේලි උතුර ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට අවි කල්ලිය ප්‍රහාර එල්ල කර තිබේ. බියට පත්වූ ත්‍රීරෝද රථ රියදුරු අසල නිවසකට ඇතුල්වීමෙන් නිවසේ සිටි පුද්ගලයන්ට ද අවි කල්ලිය පහරදී තිබේ.

මෙම සිද්ධියෙන් ත්‍රීරෝද රථ රියදුරු වන මානිප්පායි කුච්චි ඕඩයි ප්‍රදේශයේ පදිංචි ආනන්ද රාජා ජෙනීස්කරන් (වයස 35), ඉරාසතුරයි රවිශංකර් (වයස40) රවිශංකර් පකීරදන් (වයස 15), සහ සංගුවේලි ප්‍රදේශයේ පදිංචි බාලසුප්‍රමනියම් සිවගුරුනාදන් (වයස54) යන සිව් දෙනා තුවාල ලබා තිබේ. තුවාල ලැබූවන් යාපනය රෝහලට ඇතුලත් කර තිබේ.

මේ අතර, ආනයිකෝට්ටයි ආරුකාල්මඩම් ප්‍රදේශයේ නිවසකට ඇතුල්වූ යතුරු පැදිවලින් පැමිණි 10 දෙනෙකුගෙන් යුතු කල්ලිය නිවසේ බඩු භාණ්ඩවලට අලාභ හානි සිඳුකර තිබේ. සිද්ධියෙන් ආනයිකොට්ටයි ප්‍රදේශයේ පදිංචි කුලසිංගම් කුලප්‍රදීපන් (වයස 35) නැමැත්තා බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මේ අතර, කොණ්ඩාවිල් බස්නැවතුම්පළ ඉදිරිපිට පිහිටි වෙළෙඳසැලකට ඇතුල් වූ කල්ලිය වෙළඳසැලේ භාණ්ඩවලට අලාභ හානි සිඳුකර, එහි සේවය කළ පුත්තූර් නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි සෙල්වරාසා මනිමාරන් (වයස 27) නැමැත්තාට කඩුවලින් පහරදී පලා ගොස් තිබේ.

මේ අතර, වෙළඳසැලේ හිමිකරු වන සුන්ඩුකුලි ඊච්චම්මෝට්ටයි ප්‍රදේශයේ පදිංචි අරුලානන්දම් සුජීවන්ගේ (වයස 35) නිවසට පසුගිය සෙනසුරාදා දින පැමිණි අවි කල්ලිය ඔහුට පහරදීමෙන් බරපතල තුවාල ලැබූ ඔහු යාපනය රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියි. එහිදී ඔහුගේ ත්‍රීරෝද රථයද අවි කල්ලිය විසින් පැහැරගෙන ගොස් තිබුණි. පහුවදා එම ත්‍රීරෝද රථය නල්ලූර් ප්‍රදේශයේ තිබී සොයාගෙන ද තිබුණි.

මේ අතර, ඊයේ දින රාත්‍රී මුඩමාවඩි ප්‍රදේශයේ නිවසකට ඇතුල්වූ කල්ලිය නිවසේ තිබූ බඩු භාණ්ඩවලට අලාභ හානි සිඳුකර, නිවසේ සිටි රාජන්, ලක්‍ෂ්මන් යන දෙදෙනාට පහරදී ඔවුන්ගේ යතුරු පැදියද රැගෙන ගොස් තිබේ.

පසුගිය දින හතරක කාලය තුළ තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධීන් අටක් වාර්තාවී තිබේ. ඉකුත් සිද්ධීන් සම්බන්‍ධයෙන් යාපනය, කෝප්පායි, සහ මානිප්පායි පොලිසිය විසින් පරීක්‍ෂණ ආරම්භ කර ඇති නමුත්, මේ දක්වා කිසිවෙක් පොලිස් අත්අඩංගුවට ගැනීම නොහැකි වී ඇත.