SRILANKAN NEWS

රජයට එරෙහි දෙමළ ජනතා විරෝධය දැන් දෙමළ නායකයන්ට එරෙහිව ..?

අතුරුදන්වූවන්ගේ ඥාතීන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව අද (13) දින වව්නියාවේදී විරෝධතාවක් පවත්වා තිබේ.

“මාරාන්තික උපවාසයේ නිරතවූ මව්වරුන්ව, දෙමළ පිබිදීම යටපත් කළ, ද්‍රෝහිකම් කර ශ්‍රී ලංකා රජය ආරක්‍ෂා කළ පුද්ගලයන්“, “ඇමරිකාව යුරෝපා සංගමය හරහා දෙමළ ජනතාවට විසඳුමක් ලැබීම වලක්වා, ශ්‍රී ලංකා රජය ආරක්‍ෂා කරමින් සිටින දූෂිතයන්“ යන සටන් පාඨ සමඟ මෙම විරෝධතාවය පවත්වා තිබේ.

මේ අතර, දෙමළ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ගේ ඡායාරූපවලට වැලි ගසා බැණ වැදුනු අතුරුදන්වූවන්ගේ ඥාතීන්, පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ජනාධිපති සමඟ වූ සාකච්ඡාවේදී මැද්දට පැන සියල්ල කඩාකප්පල් කළ බවත්, තමන්ට ද්‍රෝහිකම් කළ බවද චෝදනා කර තිබේ.

තවද “අප විසින් තෝරා පත්කළ විපක්‍ෂ නායකයාට, ඔහු සමඟ පාර්ලිමෙන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ට, අපට නිසි විසඳුමක් ලබාදීමට නොහැකි නම් තවඳුරටත් පාර්ලිමෙන්තුවේ සිටින්නේ කුමකට ද?“ දැයි ප්‍රශ්ණ කර තිබේ.

වව්නියාවේ පවත්වාගෙන යන රොටේෂන් ක්‍රමයේ මෙම උපවාසයට අදට දින 324ක් අවසන්වී තිබේ.