SRILANKAN NEWS

දේශපාලනය අද අපේ රටේ ලාභ ලබන ව්‍යාපාරයක් වෙලා – අනුර දිසානායක

“ස්වෙච්ඡා සේවයක් ලෙස තිබුණ දේශපාලනය අද අපේ රටේ ලාභ ලබන ව්‍යාපාරයක් වී ඇති නිසයි ජනතාවට මේ දේශපාලනය එපාවෙලා, තිත්තවෙලා තියෙන්නේ. හෙරොයින් අලෙවි කරන ජාවාරමටත් වඩා මෙම දේශපාලනය ලාභයි. හෙරොයින් ජාවාරම ලාභ වුණත් භයානකයි. ඒත් දේශපාලනය ඊට වඩා ලාභයි. සමහරවිට වැඳ වැඳ දෙනවා හොරකම් කරන්න. ඒ නිසා දේශපාලනය කියන්නේ ගෞරවනීය ලාභ බිස්නස් එකක් බවට අද පරිවර්තනයවී තිබෙනවා” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

වෙන්නප්පුව උල්හිටියාව ප්‍රදේශයේ පසුගියදා පැවති ජන හමුවකදී ඔහු මේ බව පවසා තිබේ.

“ලංකාවෙි මිනිසුන්ට දේශපාලනය එපාවීමට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ දේශපාලනය බිස්නස් එකක් වීමයි. මෑත කාලයේ සිදුවුණු බැඳුම්කරේ එක සිද්ධියක්. අපි මේ ජනතාවගෙන් ඉල්ලන්නේ මේ බිස්නස් එක නතර කරන්න ජනතා විමුක්ති පෙරමුණට බලය දෙන්න. අපි ලෑස්තියි බිස්නස් එකක් වෙලා තියෙන මේ දේශපාලනය ජනතාවාදී එකක්, ජනතාවට වැඩ කරන දේශපාලනයක් දක්වා හරවන්න. ඒ නිසා 10 වැනිදා වෙන්නප්පුවේ බලයත් රටේ අනෙක් ගමේ බලයත් ජනතා විමුක්ති පෙරමුණ වටා එක් වේවි කියලා අපි විශ්වාස කරනවා.” යැයි අනුර දිසානායක මහතා වැඩිදුරටත් පවසා තිබේ.