SRILANKAN NEWS

බැඳුම්කර වාර්තාවේ අඩුපාඩු තිබේදැයි කථානායක අද දැනුම්දෙයි

බැඳුම්කර වාර්තාවේ පිටු හෝ ඇමුණුම්වල අඩුපාඩු තිබේදැයි ජනාධිපති ලේකම්වරයාගෙන් විමසා අද. (23දා)පාර්ලිමේන්තුවට දැනුම්දෙන බවට කථානායක කරු ජයසූරිය මහතා පක්‍ෂ නායකයන්ට පොරොන්දු වූයේ යැයි ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ඊයේ (22දා) රැස්වූ පක්‍ෂ නායක රැස්වීමේදී තමන් සහ ජනතා විමුක්ති පෙරමුණ විසින් බැඳුම්කර වාර්තාවේ අඩුපාඩු ඇතැයි පෙන්වා දුන් බවත්,ඒ සම්බන්ධව දිගින් දිගටම ප්‍රශ්න කළ අවස්ථාවේදී කථානායකවරයාගේ මෙම තීරණය දැනුම්දුන් බවද ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

බැඳුම්කර වාර්තාව අද (23දා)දහවල් 1.00ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සියලුම මන්ත්‍රීවරුන්ට එය ලබාදීමටද මෙහිදී තීරණය කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ අතර, අද (23දා) සවස2.30ට පක්‍ෂ නායක රැස්වීමක් පවත්වා බැඳුම්කර විවාදය පවත්වන දින හා වේලාවන් සම්බන්ධව තීරණයක් ගැනීමට නියමිත බවත්,ඉන් පසුව වාර්තාව සම්පූර්ණයෙන් අධ්‍යයනය කිරීමට මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලැබෙන බවත් දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මීට අමතරව අද (23දා) පෙරවරු 11.00ට ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායක රැස්වීමක් පවත්වා ඉදිරියේදී කටයුතු කරන ආකාරය තීරණය කරන බවද මන්ත්‍රීවරයා පවසා සිටියේය.