SRILANKAN NEWS

ජාතික සමගිය පිළිබඳව ප‍්‍රබල දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම අවශ්‍යයි – අනුර දිසානායක

“අද තියෙන්නේ දේශපාලනයේ ජාතිවාදයක්. එසේ නම් එයට මුහුණ දිය හැකි වන්නේම දේශපාලන ජාතිවාදයට එරෙහිව ජාතික සමගිය පිළිබඳව ප‍්‍රබල දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමෙන්ම පමණයි. වෙන කිසිම උත්තරයක් නැහැ. අප අද මේ ආරම්භ කරන්නේ ජාතිවාදයට එරෙහිව ජාතික සමගිය වෙනුවෙන් වූ ප‍්‍රබලතම සංවිධානය සහ ව්‍යාපාරය දියත් කිරීමයි.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව පැවසූවේ ජාතිවාදයට එරෙහිව පසුගිය (21) කොළඹ මහජන පුස්තකාලයීය ශ‍්‍රවණාගාරයේදී වෙනසක ඇරඹුම සංවිධානය විසින් පවත්වන ලද “අපි මිනිස්සු” ජාතික සමගි කතිකාවත හා එක්වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා…

“අපේ රට තීව‍්‍ර ජාතිවාදී බෙදීමකට ලක්වෙලා තියෙනවා. සියලු තර්කනයන් මේ ජාතිවාදය හමුවේ සැලකිල්ලට ලක් නොවන කරුණු බවට පත්වෙලා. ජාතිවාදය හමුවේ විද්‍යාව අදාළ නොවන කරුණක් බවට පත්වෙලා. සංඛ්‍යා දත්ත, තොරතුරු, කරුණු ආදිය ජාතිවාදී ප‍්‍රබලතාවය හමුවේ අදාළ නොවන තත්ත්වයට පත්වෙලා. ඒ නිසා ජාතිවාදයට එරෙහි මහා කතිකාව අපට තිබෙන්නේ විද්‍යාත්මක සාධක, තර්කනය, දත්ත සහ තොරතුරු මත පමණක් නොවෙයි. ඊට වඩා ප‍්‍රබල මහජන බලයක් ගොඩනැගුවහොත් පමණයි ජාතිවාදය පරාජය කළ හැකි වන්නේ.

ඒ නිසා අපේ මේ අරගලය තල දෙකක ක‍්‍රියාත්මක කළ යුතු වෙනවා. හරිනි සොහොයුරිය කියූ එක තලයකට මම එකඟයි. අපේ රටේ දේශපාලනයේ න්‍යායික කරුණු, දිශානතිය, තනි පුද්ගලයාගේ අනන්‍යතාවය සහ විවිධත්වය තුළ ඒකත්වය වැනි විශාල සාරගර්භ සාකච්ඡාවක් ක්ශුද්‍ර දේශපාලනයේ තිබෙනවා. ඒ වගේම ගැටුම්, කුමන්ත‍්‍රණ, ආණ්ඩු පෙරළීම්, විකිණීම්, අලෙවි වීම් පිළිබඳ සාකච්ඡාවක් මහේක්ෂ දේශපාලනයේදී තිබෙනවා. අද අපේ රටේ ජාතිවාදය තවදුරටත් තිබෙන්නේ ක්ෂුද්‍ර දේශපාලනය නෙවෙයි, මහේක්ෂ දේශපාලනයේ.

ඇත්තටම අද තියෙන්නේ දේශපාලනයේ ජාතිවාදයක්. එසේ නම් එයට මුහුණ දිය හැකි වන්නේම දේශපාලන ජාතිවාදයට එරෙහිව ජාතික සමගිය පිළිබඳව ප‍්‍රබල දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමෙන්ම පමණයි. වෙන කිසිම උත්තරයක් නැහැ.

ජාතිවාදය ප‍්‍රබල වී තිබෙන්නේ ඔවුන් ප‍්‍රමාණයෙන් විශාල නිසා නොවෙයි. ඔවුන් හඬින් ප‍්‍රබලයි. සංවිධානාත්මක අතින් ප‍්‍රබලයි. සිංහල, දෙමළ, මුස්ලිම් පොදු ජනතාව අතර, සාමයෙන් සමගියෙන් එකට ජීවත්වීමේ කැමැත්ත තිබෙනවා. හැබැයි ඒ කැමැත්ත අධිකාරී දේශපාලන බලයක් හරහා ජාතිවාදය උච්චස්ථානයට ඔසවා තබා තිබෙනවා. ඒ නිසා ජාතිවාදයේ හඬ ප‍්‍රබලයි, ප‍්‍රමාණය අඩුයි. හැබැයි ජාතිවාදයට එරෙහි සටන ප‍්‍රමාණයෙන් විශාලයි, නමුත් හඬ දුබලයි. අප අද මේ ආරම්භ කරන්නේ ජාතිවාදයට එරෙහිව ජාතික සමගිය වෙනුවෙන් වූ ප‍්‍රබලතම සංවිධානය සහ ව්‍යාපාරය දියත් කිරීමයි.

අපේ පරම්පරාව අවුරුදු තිහක් යුද්ධ කරගත්තා. දෙමළ ජනතාව සහ සිංහල ජනතාව අතර, දෙමළ ජනතාව සහ සිංහල ජනතාව අතර කුඩා කුඩා ගැටුම් ඇති වුණා. ඒ හැම ගැටුමකදීම පීඩාවට පත්වන පාර්ශ්වය දෙමළ නම්, ඔවුන් එය ඉවසා වදාරා ගත්තා. හැබැයි ප‍්‍රභාකරන් කියලා තරුණයෙක් ඔවුන්ට නායකත්වය දී දැවැන්ත යුද්ධයක් දක්වා පරිවර්තනය කිරීමට තරම් ඒ ජනතාව හමුවේ තිබූ පීඩනය ප‍්‍රබල වී තිබුණා.

ඒ වගේම තමයි අදත්, දිගනට ගියොත් ඔවුන්ගේ ප‍්‍රධාන පල්ලි තුනක් ගිනිබත් කරලා. දේපොළ, නිවාස විශාල ප‍්‍රමාණයකට හානි කරලා. මුස්ලිම් ජනතාවගේ මේ පීඩනය, මේ දරා ගැනීම කොච්චර කාලයක් තබා ගනීදැයි විශ්වාස කරනවාද? එය දශක ගණනක් දරා ගන්නේ නැති බව සහතිකයි. මේ විදිහට ගියොත් අපේ පරම්පරාවට වගේම අපේ දරුවන්ගේ පරම්පරාවටත් යුද්ධ කරගන්න සිදුවේවි. ඒ නිසා මේ වෙලාවේ ජීවත්වෙන අපි කිසිවෙකුට අපේ දරුවන්ට යුද්ධ කර ගන්නා පරිසරයක් නිර්මාණය කරන්න කිසිම අයිතියක් නැහැ.”