SRILANKAN NEWS

ලසන්ත ඝාතනයට සම්බන්‍ධ හිටපු පොලිස් නිලධාරින් යළි රක්‍ෂිත බන්‍ධනාගාරයට

සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල මහත්වරුන් ලබන 14 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (01) නියෝග කර තිබේ.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් පසුගිය නඩු වාරයේ දී නානායක්කාර මහතාට ඇප ඉල්ලා තිබිණි. අද එම ඇප නියෝගය ලබා දෙන හෙයින් නඩුවට මැදිහත් වන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම අනුව නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතා අද අධිකරණයේ පෙනී සිටි තිබේ.

නීතිපතිවරයා අද නඩුව නියෝජනය කරන බව සැකකරුවන්ගේ පාර්ශ්වයට දැනුම් නොදීම ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා විරෝධය පළ කළේය. ඕනෑම නඩුවක් සම්බන්ධයෙන් නීතිපතිවරයාට අධිකරණයේ පෙනී සිටිය හැකි බව කී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී බී.එස්. තිසේරා මහතා නීතීඥවරුන් යම් අපහසුතාවකට පත්වූයේ නම් ඒ ගැන කණගාටු වන බවද ප්‍රකාශ කළේය.

පැමිණිල්ලේ දෙවැනි විත්තිකරු උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල මහතාට නඩු භාණ්ඩ විනාශ කරන්නැයි දැනුම් දී ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බවත්, පොලිස් දෙපාර්තමේන්තුවේ උසස්ම නිලයක් හොබවන මෙවැනි නිලධාරීන් එවැනි නියෝග දීම කිසිසේත් සුළුවෙන් තැකිය නොහැකි බවත් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතා පැවසීය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් මෙලෙස කරනවා නම් පොලිස් කොස්තාපල්වරුන් මොනවා කරාවිදැයි ප්‍රශ්න සහගත බව රජයේ නීතීඥවරයා ප්‍රකාශ කළේය.

මෙම අපරාධය හා සම්බන්ධ යතුරු පැදි දෙකක් ගැන තොරතුරු තවදුරටත් සෙවිය යුතුයැයිද, එක් යතුරුපැදියක හිමිකරු සහ තවත් පුද්ගලයකු මරා දමා ඇතැයිද, ඒ අපරාධවල විමර්ශන මෙතෙක් අවසන් වී නැතැයි ද, අදාළ සාක්කි විනාශ කිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේ කවුරුන්දැයි ඔහු මුලදී හෙළි කර නැති හෙයින් ඒ ගැන විමර්ශන සිදු කළ යුතුයැයි ද රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා ප්‍රකාශ කර ඇත.

මෙම හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහි පළමු වැනි චෝදනාවට වසර 05ක සහ දෙවැනි චෝදනාවට වසර 07ක සිර දඬුවම් නියම කිරීමට අධිකරණයට හැකියාව ඇතැයි කී නීතීඥවරයා මේ සම්බන්ධයෙන් විමර්ශන අවසානයේ දී මහාධිකරණයේ නඩු පැවරීමට නියමිත යැයිද අධිකරණයට දැනුම් දී ඇත.

මෙහි සෙසු විත්තිකරුවන් ඇතැම් විට ඉදිරියේදී මෙම අපරාධය ගැන තවත් තොරතුරු හෙළිදරුව් කරනු ඇති බවත්, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඇප ලබා දුනහොත් තවදුරටත් සාක්කි යටපත් විය හැකි බවත් කී නීතීඥවරයා ඔහුට ඇප නියම කරනවාට විරෝධය පළ කරන බව ප්‍රකාශ කර තිබේ.

ඇප සම්බන්ධයෙන් ලබන 14 වැනිදා කරුණු දක්වන ලෙස සැකකරුවන්ගේ පාර්ශ්වයට නියෝග කළ අධිකරණය උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතා ලබන 14 වැනි දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.

– ලංකා ටෘෘත් –