SRILANKAN NEWS

මෛත්‍රීගෙන් රටට හෝ ජනතාවට සිදුවූ කිසිදු සෙතක් නෑ – ගම්මන්පිල

වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වී වසර දෙකක් ගතවුවද රටට හෝ ජනතාවට සිදුවූ කිසිදු සෙතක් නොමැති බවත් 18 වන ව්‍යවස්ථාව අහෝසි කිරීම විශාල ජයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියද ඒ තුළින්ද රටට හෝ ජනතාවට සිදුවූ කිසිදු යහපතක් නොමැති බව පිවිතුරු හෙළ උරුම පක්ෂය අවධාරණය කර සිටියි. එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා විසින් මෙම අදහස් පළ කරන ලද්දේ ඊයේ (09) පිටකෝට්ටේ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ගම්මන්පිල මහතා පවසා සිටියේ හම්බන්තොටදී සාමකාමී ලෙස විරෝධතාවයක් පවත්වීම සදහා ගිය පිරිසට අමානුෂික ආකාරයෙන් පහර දීම හෙලා දකින බවයි. සපත්තු පැළද ස්වාමීන්වහන්සේලාට පහර දුන් පොලිස් නිලධාරීන් වීඩියෝ දර්ශන මගින් හදුනාගෙන එම නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් වත්මන් ජනාධිපති සහ අග්‍රමාත්‍යවරයාගේ ප්‍රකාශ බොහෝවිට පරස්පර විරෝධී බවත් ගම්මන්පිල මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී. යහපාලන ආණ්ඩුවට ඇත්තේ කෙටි කාලීන අරමුණු පමණක් බවත් ඉදිරියේදීත් මේ අකාරයට රාජ්‍ය සම්පත් විකිණීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරනු ඇති බවත් උදය ගම්මන්පිල මහතා සිය අදහස් පළ කරමින් වැඩිදුරටත් කරුණු අවධාරණය කරන ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා පිවිතුරු හෙළ උරුම පක්ෂයේ නීති කටයුතු පිළිබද ලේකම් නීතිඥ තුෂාර දිසානායක සහ එම පක්ෂයේ හෝමාගම ආසන සංවිධායක ප්‍රියන්ත හේරත් යන මහත්වරුන්ද සහභාගි විය.