SRILANKAN NEWS

ගමට යෑම තමයි එකම අරමුණ එතෙක් පාරේ තමයි.. – කේප්පාපිලවු ජනතාව

අපගේ ගමට යෑම තමයි එකම අරමුණ, එය ඉටුවන තෙක් අපගේ ජීවිතය පාරදී තමයි ගත කරන්නේ යැයි කේප්පාපිලවු, පිලක්කුඩිඉරුප්පු ජනතාව පවසති.

මුල්ලතිව් කේප්පාපිලවු ජනතාව ඊයේ සෙනසුරාදා 11 වන දිනටත් සිය සත්‍යග්‍රහය පවත්වාගෙන යන අතර, තම ඉඩම් යළි තමන්ට ලැබෙන තෙක් මෙම අරගලය අඛණ්ඩව පවත්වාගෙන යන බවත්, තම පාරම්පරික ඉඩම් තමන්ට ලබාදිය යුතු යැයි අවධාරණය කර එම ප්‍රදේශයේ ළමුන් සහ වයසක පුද්ගලයන් ඇතුළු සියළු දෙනාම මෙම අරගලයට එක්වී සිටිති.

වැස්ස, පින්න නොබලා ප්‍රදේශයේ ජනතාව සත්‍යග්‍රහයේ නිරතව සිටිති. මෙම ජනතාවගේ අරගලයට දේශපාලන පක්‍ෂ, ශිෂ්‍ය සංගම්, පොදු සංවිධාන, ආගමික සංවිධාන, සහ සුළු ප්‍රමාණයක සිංහල ජනතාව ඇතුළු විශාල පිරිසක් සහාය ලබාදී තිබේ.

අක්කර 524ක පමණ ජනතාවගේ ඉඩම් නාවික හමුදාව විසින් අත්පත්කරගෙන සිටියි. එය පිලක්කුඩිඉරුප්පු ජනතාවගේ ගොවිබිම්ය, එම ජනතාවගේ ජීවනෝපාය සඳහා වූ ඉඩම්ය, එම ජනතාව ජීවත් කරවන්නේ එම ඉඩම්ය, එමෙන් මෙ ඉඩම් අහිමිවී සිටින එම ජනතාව ආර්ථික වශයෙන් දැඩි අපහසුතාවලට මුහුණ දෙමින් සිටිති.

යුද්දය නිමාවී වසර හතක් අවසන්වූ නමුත් මෙතෙක් තම ඉඩම් නොලැබීමෙන් එම ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වී සිටිති. එමෙන් තම ඉඩම් හැර තමන්ට වෙනත් කිසිවක් අවශ්‍ය නැති බව පිලක්කුඩිඉරුප්පු ජනතාව ස්ථීරව පවසා තිබේ.

තවද තම ඉඩම් නොමැති හෙයින් නැවැත පදිංචියෙන් පසු රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවලින් ලබා දෙන සහනාධාර රැසක් ද එම ජනතාවට නොලැබේ. නිදහසේ ජීවත්වීමට නිවසක් නැත. මෙලෙස තම ඉඩම් නොලැබීම හේතුවෙන් එම ජනතාව විවිද දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් සිටිති.