SRILANKAN NEWS

නාවික හමුදාපතිගේ සේවා දිගුව – තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අප්‍රසාදය පළ කරයි..

වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සදහා සේවා දිගුවක් ලබා දීම පිළිබද සිය අප්‍රසාදය පළ කරන බව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අවධාරණය කර සිටියි.

හම්බන්තොට දී ජනමාධ්‍යවේදියකුගේ රාජකාරියට බාධා කරමින් පහර දීමට කටයුතු කළ වත්මන් නාවික හමුදාපතිවරයාට ජනාධිපතිවරයා විසින් ‍මාස මාස හයක සේවා දිගුවක් ලබා දීම නුසුදුසු බවද ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වැඩිදුරටත් පවසා සිටියි. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ බව සදහන් කර සිටියි.

එම නිවේදනය පහත පරිදිවෙයි,

හම්බන්තොට දී ජනමාධ්‍යවේදියකුට පහර දුන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට ජනාධිපතිවරයා තවත් මාස හයක සේවා දිගුවක් ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අප්‍රසාදය පළ කර සිටී.

මාධ්‍යවේදියාට පහර දීම සම්බන්ධයෙන් රටම කතා කරද්දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණිවත රැක්කේය. එපමණක් නොව එම පහරදීමෙන් පසු ප්‍රසිද්ධ වේදිකාවේ නාවික හමුදාපතිවරයා සමග කටයුතු කළ ආකාරය ද මාධ්‍ය සංවිධානවල විවේචනයට බඳුන් විය.

ජනමාධ්‍යවේදියකුගේ රාජකාරියට බාධා කරමින් අසැබි වදනින් ඔහුට තර්ජනය කරමින් පහර දුන් නාවික හමුදාපතිවරයා සම්බන්ධයෙන් විනය පියවරක් ගැනීම ආරක්ෂක ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයාට ඇති වගකීමයි. එම වගකීම පැහැර හැරි ජනාධිපතිවරයා ජනමාධ්‍ය සමාජයෙක් එල්ල වූ විරෝධයද නොතකා ඔහුට යළි සේවා දිගුවක් ලබා දීම දැඩි පිළිකුළෙන් හෙළා දකිමු. මෙම පිළිවෙත් කිසි ලෙසකින් යහපාලන මූලධර්මවලට අනුගත වන්නේ නැත.

නාවික හමුදාපතිවරයා සම්බන්ධයෙන් අපරාධ නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, ආයතන සංග්‍රහය අනුව විනය පියවර ගන්නා ලෙසත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි රජයට බල කර සිටිමු.

-ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය-