SRILANKAN NEWS

විමල්ගේ පක්‍ෂය පාර්ලිමෙන්තුවේ පක්‍ෂයක් ලෙස පිළිගත නොහැකි බව කථානායකවරයා දැනුම් දෙයි..

විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තුවේ පක්ෂයක් ලෙස නෛතිකව පිළිගත නොහැකි අතර, එම පෙරමුණේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමෙන්තුවේ ස්වාධීනව කටයුතු කළ නොහැකි බව කථානායක කරු ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

කථානායකවරයාගේ එම නිවේදනයෙන් අනතුරුව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පාර්ලිමෙන්තු සභාගැබ මධ්‍යට පැමිණ නොසන්සුන්තාවක් ඇති කර තිබේ.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10ට කල්තැබීමට කථානායක කරූ ජයසූරිය මහතා විසින් තීරණය කර තිබේ.

ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වන බවත් ඒ අනුව තමා ඇතුළු අනෙක් මන්ත්‍රීවරුන්ට වෙනම කටයුතු කිරිමට අවස්ථාව ලබාදෙන ලෙස පාර්ලිෙම්න්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පසුගිය (22) වනදා කථානායකවරයාගෙන් ඉල්ලා තිබුණි. ඒම ඉල්ලීම සලකා බලා පසුව තීන්දුවක් දෙන බව කතානායක කරු ජයසූරිය මහතා එදින පවසා තිබුණි.

යම් කිසි දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් ලෙස මැතිවරණයට තරඟ කොට මන්ත්‍රී ආසන දිනාගත්තේනම් පාර්ලිමේන්තුව තුළ අදාළ පක්ෂය හෝ කණ්ඩායම නියෝජනය වන බවත්, ඒ අනුව අදාළ මන්ත්‍රීවරුන්ට තනි තනිවම මන්ත්‍රීවරුන් ලෙස ස්වාධීන විය හැකි නමුත්, පක්ෂයක් හෝ කණ්ඩායමක් ලෙස ස්වාධීන විය නොහැකි බව කථානායකවරයා අද පාර්ලිමෙන්තුවේදී පෙන්වාදී තිබේ.