SRILANKAN NEWS

තෝප්පූර් ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන් තත්වය සමතයට

ත්‍රිකුණාමලය – තොප්පූර් ප්‍රදේශයේ ජීවත් වන මුස්ලිම් ජනතාවට එම ප්‍රදේශයෙන් ඉවත්වී යන්නැයි බෞද්ධ හිමිවරුන් පිරිසක් කළ තර්ජනය සම්බන්‍ධයෙන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ට්‍රින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් හදිසි සාකච්ඡා හමුවක් පවත්වා තිබේ.

මෙම සාකච්ඡා හමුවට නැගෙනහිර පළාත් සභා මන්ත්‍රීවරුන්, පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිළධාරීන්, ආගමික නායකයන් ඇතුළු විවිධ පාර්ශවයන් සහභාගිවූහ. එහිදී සියළු පාර්ශවයන් එක්ව කමිටුවක් පත්කර සියළු දෙනා පිළිගත හැකි විසඳුමක් ලබා ගැනීමට අදාළ පාර්ශවයන් එකඟත්වය පළ කළ බව පැවැසේ.

ඉඩම් මිනුම් කටයුතු සිදුකර දැනට එහි ජීවත්වන ජනතාවට සහ ගොවිතැන් කරන ඉඩම්වලට හානියක් සිදු නොවන අයුරින් සියළු පාර්ශවයන් එකඟවිය හැකි විසඳුමක් ගැන තීරණය කර ඇති බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ට්‍රින් ප්‍රනාන්දු මහතා පවසයි.

පසුගිය 1959 වසරේ සිට මුස්ලිම් ජනතාව එම ප්‍රදේශයේ ජීවත් වන අතර, ඉකුත් ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට එම ඉඩම්වලින් ඉවත්වී යන්නැයි ඊයේ (16) දින එහි පැමිණි බෞද්ධ හිමිවරුන් සහ තරුණයන් පිරිසක් තර්ජනය කර තිබෙන අතර, එහි ආරක්‍ෂාවට දමා තිබූ වැට ද කඩා දමා තිබේ.

තවද එම ජනතාව ප්‍රදේශයෙන් ඉවත් නොවීමෙන් අනතුරුව ඊයේ දින රාත්‍රීයේ ප්‍රදේශවාසීන්ගේ නිවස්වලට ගල් මුල් ප්‍රහාරයක් ද එල්ලකර තිබේ.