SRILANKAN NEWS

දෙමළ ජනතාවට අයත් කේප්පාපිලවු ඉඩම් සම්බන්‍ධයෙන් සම්බන්‍ධන්ගෙන් ජනපතිට ලිපියක්!!

කේප්පාපිලවු ඉඩම් සම්බන්‍ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්‍ධන් මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවා තිබේ.

එහිදී සම්බන්‍ධන් මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ,..

දැනට හමුදාව ස්ථානගතව සිටින මුල්ලතිව් දිස්ත්‍රික්කයේ කේප්පාපිලවු ප්‍රදේශයේ ඉඩම් දෙමළ ජනතාවට අයිති ඉඩම්ය. එය ඉඩම් කොටස් හතරකට අයත්වේ. 1) අක්කර 243යි 2) අක්කර 189යි 3) අක්කර 111යි 4) අක්කර 70යි රූට් 2යි ඇතුළුව සම්පූර්ණ ඉඩම් ප්‍රමාණය අක්කර 613යි රූට් 2ක් වේ.

පසුගිය මැයි 18 වනදා මා සමඟ පාර්ලිමෙන්තු මන්ත්‍රී මාවයි සේනාදිරාජා මහතා ද ඉකුත් ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් අනතුරුව එම ප්‍රදේශය භාර හමුදා ආඥාපති සමඟ සාකච්ඡා කළෙමු. එහිදී ඔහු පවසා සිටියේ..

1) අක්කර 243කින් යුතු පළමු ඉඩම් කොටස කඩිනමින් නිදහස් කළ හැකි බවත්,
2) අක්කර 189කින් යුත් දෙවැනි ඉඩම් කොටස මාසයක කාලයක් තුළ නිදහස් කළ හැකි බවත්,
3) අක්කර 111කින් යුත් තෙවන ඉඩම් කොටස මාස හයකින් නිදහස් කළ හැකි බවත්,
4) අක්කර 70යි රූට් 2කින් යුත් ඉඩම නිදහස් කිරීමේදී ගැටළු කිහිපයකට මුහුණදීමට සිඳුව ඇති බවද පවසා සිටියේය.

මම කොළඹ පැමිණීමෙන් අනතුරුව එවකට හමුදාපති ලෙස කටයුතු කළ ක්‍රිෂාන්ත ඩි. සිල්වා මහතා සමඟ ඉහත සඳහන් කළ අක්කර 70යි රූට් 2කක ඉඩම නිදහස් කිරීම ගැන සාකච්ඡා කළ විට, එම ඉඩම ද නිදහස් කළ හැකි බවත්, කේප්පාපිලවු ඉඩම් සියල්ල ජූලි මස අවසානයට පෙර නිදහස් කරන බවද පවසා සිටියේය.

ජූනි මස 23වනදා මම ගරු ජනාධිපති තුමා හමුවූ අවස්ථාවේ ඉහත සඳහන් ඉඩම් ඇතුළු කේප්පාපිලවු ප්‍රදේිශයේ සියළු ඉඩම් කඩිනමින් නිදහස් කරන්නැයි හමුදාවට උපදෙස් ලබා දෙන ලෙස ඔබතුමා වෙත ඉල්ලා සිටියෙමි. ඔබතුමා ද එය එලෙසම ඉටුකරන බවට පොරොන්දු වුනා.

අවතැන්වූ දෙමළ ජනතාව පසුගිය දින 141ක කාලයක් කේප්පාපිලවු හමුදා කඳවුර ඉදිරිපිට තම ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා සත්‍යග්‍රහයක නිරතව සිටිති. යුද්දයට පෙර සහ පසු ද මෙම ජනතාව දිගු කලක් තිස්සේ දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටිති.

මුල්ලතිව් දිස්ත්‍රික්කයේ කේප්පාපිලවු ඉඩම් සියල්ල එහි අයිතිකරුවන් වන ජනතාවට නිදහස් කර දීමට කඩිනමින් පියවර ගන්නා ලෙස මම ඉල්ලා සිටින්නෙමි. මෙම මස අවසන්වීමට පෙර මුල්ලතිව් දිස්ත්‍රික්කයේ කේප්පාපිලවු ඉඩම් සියල්ල නිදහස් කළ යුතු බව කාරුණිකව ඉල්ලා සිටින්නෙමි.

ස්තූතියි.
ආර්. සම්බන්‍ධන්
පාර්ලිමෙන්තු මන්ත්‍රී
විපක්‍ෂ නායක