SRILANKAN NEWS

නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් දිගටම, තුන්නාලයි ජනතාව මානව හිමිකම් කොමිසමට යයි

වඩමරාච්චියේ සිඳුකරන නීති විරෝධී අත්අඩංගුවට ගැනීමේ අමානුෂික කටයුත්ත නවතා දමන්නයි ඉල්ලා යාපනය මානව හිමිකම් කොමිසමට සන්දේශයක් භාරදී තිබේ. යාපනය තුන්නාලයි ප්‍රදේශයේ ජනතාව විසින් යාපනය පිහිටි මානව හිමිකම් කොමිසමේ සම්බන්‍ධිකාරක ටී. කනකරාජා මහතා වෙත එම සන්දේශය භාරදී තිබේ.

වඩමරාච්චිය ප්‍රදේශයේදී පසුගිය 4 වනදා සිට 7වනදා දක්වා වූ කාලය තුළ අලුයම් කාලයේදී පොලිසිය හා පොලිස් විශේෂ කාර්‍ය බළකාය ඒකාබද්ධව විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කළ අතර, එහිදී තරුණයන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙතෙක් තරුණයන් 42 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර, තුන්නාලයි ප්‍රදේශයේ තරුණයන් 24 දෙනෙකුද ඒ අතර සිටිති. අත්අඩංගුවට පත්වූ තරුණයන්ව පේදුරුතුඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‍ෂිත බන්‍ධනාගාර ගත කර තිබේ.

මේ සම්බන්‍ධයෙන් ප්‍රදේශවාසීන් පවසා සිටියේ,
වඩමරාච්චිය තුළ දිගටම සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා, රැකියාවට යන පුද්ගලයන්, රැකියා කටයුතු සඳහා වඩමරාච්චියේ රැඳී සිටින පිට පළාත්වල තරුණයන්ව අත්අඩංගුවට ගන්නවා.

තුන්නාලයි ප්‍රදේශයේ තරුණයෙකු පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත්වීමෙන් අනතුරුව තුන්නාලයි ප්‍රදේශයේ මාර්ගවල ටයර් දමා විරෝධතා පැවැත්වීම, ප්‍රවාහන කටයුතුවලට බාධා කිරීම, පොලිස් මුරපොළට පහරදීම, පොලිස් වාහනයට පහරදීම ඇතුළු චෝදනා මුල්කර ගනිමින් තරුණයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටියි.

නමුත් අදාළ සිද්ධියට සම්බන්‍ධ බොහෝ දෙනෙකු ප්‍රදේශයෙන් පලා ගොස් සිටින අතර, සිද්ධිය සිඳුවූ දින ප්‍රදේශයේ නොසිටි තරුණයන්, විරෝධතාවයට සහභාගි නොවූවන් යැයි ප්‍රදේශයේ තරුණයන් විශාල පිරිසක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එවැනි නීති විරෝධි අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවල නවතා දැමිය යුතු යැයි ඉල්ලා මානව හිමිකම් කොමිසමට සන්දේශයක් භාරදී තිබෙන බව ඔවුන් වැඩිදුරටත් පැවැසූහ.