SRILANKAN NEWS

රාජ්‍ය සේවකයන් කැපවීමෙන් සේවය කළ යුතුයි – ජනපති

රාජ්‍ය සේවයේ යම් අංශයක් ජනතා විරෝධයට සහ අප‍්‍රසාදයට ලක්වන්නේ නම් ඒ පිළිබඳ ව එම අංශවල ප‍්‍රධානීන් වගකිව යුතු බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කළේය. එමෙන්ම තම හෘදසාක්ෂියට අනුව අවංකව සහ කැපවීමෙන් සේවය කරන සියලු නිලධාරින් වෙනුවෙන් රජය ඕනෑම අවස්ථාවක පෙනී සිටින බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මහවැලි ජනපදිකයින් වෙත ඉඩම් ඔප්පු ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ වික්ටෝරියා සහ කොත්මලේ කලාපවල ගොවි ජනතාව වෙත ඉඩම් ඔප්පු ලබාදීම වෙනුවෙන් ඊයේ (18) පස්වරුවේ දිගන මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණ පරිශ‍්‍රයේදී පැවති උත්සවය අමතමිනි.

රාජ්‍ය සේවයේ ඉඩම් අංශයේ කටයුතු පිළිබඳ දීර්ඝ කාලයක් පුරා මෙරට ජනතාව තුළ ඇත්තේ අපැහැදීමක් බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා මෙම අමිහිරි අත්දැකීම් ආදර්ශයට ගනිමින් කොතැනක හෝ සිදුවන වරද නිවැරදි කර ගනිමින් අද දවසේ කාර්යය සේම හෙට දවසේ සිය මහජන සේවාව නිසි ලෙස ඉටුකිරීමට එම සියලු නිලධාරින් කැපවිය යුතු බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.