SRILANKAN NEWS

රාජිතට එරෙහි විශ්වාසභංගය ඔහුගේ දේශපාලන ගමනට ආශිර්වාදයක්- එස්.බී.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට විරුද්ධව ගෙන එන විශ්වාසභංග යෝජනාව ඒ මහතාගේ දේශපාලන ගමනට ආශිර්වාදයක් බව සමාජ සවිබල ගැන්වීමේ සහ සුභසාධක අමාත්‍ය එස්.බි. දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26) බේරුවල පැවැති උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි. බේරුවල නව සමෘද්ධි සංගම් ගොඩනැගිල්ල සදහා මුල්ගල් තැබීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කොට තිබුණි. මේ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 300 කට අධික වේ.

ඖෂධ පනත ගෙනඑමින් ඖෂධ සමාගම් සමග සටන් කරමින් ජනතාවට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කරමින් සහනයක් ලබාදුන් අතර ම එතුමාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බවත් එය පරාජය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාම ඒකරාශි වී සිටින බවත් දිසානායක අමාත්‍යවරයා පැවසීය.

ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් එක්ව ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කර ඇත්තේ ජර්මනියේ සහ ඔස්ට්‍රියාවේ පමණක් බවත් මෙම සංකල්පය අපේ රටට හදුන්වා දුන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා විසින් මෙන් ම එම යෝජනාවට ජනාධිපතිවරයාත් එකගත්වය පළ කළ බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට පළාත් සභා මන්ත්‍රී ඉෆ්ට්කාර් ජමීල්, හිටප් පළාත් සභා මන්ත්‍රී එම්. එම් අම්ජාඩි, කලුතර දිස්ත්‍රික් ලේකම් යු.ඩී.සී ජයලාල්, බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් යන මහත්වරුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.