ARTICLES

මයුරා… අවාසනාවකට මේ ලොව තවමත් නිරයක් ලෙසම ඇත – නුඹේ සිතුවම් කාව්‍යයකි

11796372_745057118973066_4141957175992193071_nමයුරා ….
මරණ දඞුවම නියමවූ දහස් ගණනක සිරකරුවන්ගේ මරණයට මුහුණදුන් වේදනාව සහ මරණයට මුහුණ දීමට සිටින ඔබගේ වේදනාවත් මා සිහිපත් කරන්නෙමි. එය වටහා ගත හැකිද නැතිනම් වටහා ගැනීමට හැකියාවක් තිබේදැයි සිතා බලන විට සිතතුල වේදනාවක් ඇතිවේ.

මරණය අපව ළංවීම ගැන අපටම දැනෙන අවස්ථාව කෙතරම් දරුණු දැයි පිටතින් සිට දැනගත නොහැක. වෙනත් අයකුගේ මරණය දැක ඔවුන්ගේ වේදනාව දැක අපගේ සිතයෙහි ඇති වන ශෝකය, අනුකම්පාව, කඳුලක් ලෙස පිට කළ හැකි නමුත් එම මරණය අපිවම විනාශ කිරීමට යන බව දැනෙන එම මොහතේ ඇති වන වේදනාව මෙන් ලොව වෙනත් කිසිම වේදනාවක් නැතැයි මම සිතන්නෙමි.

ඔබට නියමවූ මරණ දඞුවම සාධාරණ දඞුවමක් යැයි ඉදිරිපත් කරන විවාදයන් මගේ සිතට වේදනාවකි. ලොව දරුණුම අපරාධ කළ සියළු දෙනාටම මරණ දඞුවම තමයි විසඳුම නම් ලොව ජනගහණයෙන් අඩකට වැඩි පිරිසක් මරණ දඞුවමට අයිතිකරුවන්ය.

මහ අපරාධ කළ පුද්ගලයන් බොහෝ දෙනා අද ලොව නායකයන්, ධනවතුන්, ප්‍රභූවරුන් ලෙස නීතියට අසු නොවී නිදැල්ලේ සිටින අතර නීතියේ දැලට කොටුකරගත් ඔබ වැනි අහිංසකයන් පමණක් මරණ දඞුවම වැළඳ ගනියි.

පසුගිය දින කිහිපයක සිට මයුරා නුඹේ තියුණු දෑස් දැක මගේ සිත කඳුලු සලයි. නුඹ කළ වරද සමාජ විරෝධ වරදකි. එහි කිසිම සැකයක් නැත. ප්‍රතිවිපාකයන් ගැන නොසිතා නුඹේ තරුණ වයසේ බුද්ධිය ගත් තීරණයට නුඹ අසුවූ නමුත් නුඹ බන්‍ධනාගාරයදී නුඹේ වැරදි වටහාගෙන යහමඟින් ගත කළ කාලයදී නුඹ ඇදපු චිත්‍ර සිතුවම් ලොව හෘද සාක්‍ෂියට තද පහරකි.

වැරද්ද වටහාගෙන යහපත් මඟ තෝරාගෙන අළුත් මිනිසකු ලෙස මේ ලොවේ ජීවත්වීමට නුඹට ඇති අයිතිය මානව ධර්මය ගරු කරන කිසිවකු ප්‍රතික්‍ෂේප කරන්නේ නැහැ. ඉන්දුනේසියානු රජය නුඹටත් මරණ දඞුවම් නියමවූ අනෙකුත් සිරකරුවන්ටත් අවස්ථාවක් නොදුන්නේ ඇයි?

මත්ද්‍රව්‍ය නිපදවා මහ පරිමානයෙන් වෙළඳාම් කරන, එයින් ලැබෙන මුදල් කන්දරාව බැංකුවල දමා කළු සල්ලි සුදු කිරීමට උදව් කරන අය සුබෝපභෝගිව ජීවත් වන විට ඔබලා පමණක් බිල්ලට ගැනීමේ සාධාරණත්වය කුමක් ද?

කළ වැරදි වටහාගෙන නිවැරදි යහපත් මඟක ජීවත්වීමට අපේක්‍ෂා කරන නුඹව නුඹේ දෙමව්පියන්, ඥාතීන්, ලොවම බලා සිටින විට වෙඩි තබා ඝාතනය කිරීමතුලින් ඉන්දුනේසියානු රජය ස්ථාපිත කිරීමට යන නීතිය කුමක්ද?

එක්වරක් නොව දෙවරක්ම් මරණයේ සමීපයටම ගිය අත්දැකීම මටද ඇත. මරණයේ සීමාව කරා ගොස් පැමිණි එම මොහතදී ඇතිවූ භීතිය කෙසේදැයි විග්‍රහ කළ නොහැක. නමුත් නුඹ? නුඹව මම දන්නවා, නුඹේ වේදනාව මටද දැනේ.

1986දී මගේ 19වැනි වයසදී මාව පැහැරගෙන ගිය ජාතික විමුක්ති සංවිධානයේ ප්‍රධානි මාත්තයියා මගේ නළලේ පිස්තෝලය තබා “නුඹේ අන්තිම කැමැත්ත කුමක්ද“ යැයි ඇසුවේය. දෑත් බැඳ දමා යට ඇඳුමින් පමණක් සිටි මට නුඹ වගේ “චිත්‍ර අඳින්නට යනවා“ දෙමව්පියන්ව බලන්න යනවා“ යැයි පැවැසීමට පවා ශක්තියක් නොතිබුණි. විමුක්තිය සඳහා අරගල කිරීමට යෑම වැරද්දක් යැයි යට සිතෙන් සිතාගෙන වෙඩි තැබීමට තීරණය කළහ. මගේ මරණය නියතයි, දැන් කුමක් කරන්නද? “මට අන්තිම කැමැත්තක් කියා කිසිවක් නැහැ, මගේ සිරුර දෙමව්පියන් වෙත ලබා දෙන්න“ යැයි පවසා සිටියෙමි.

එම මොහත නුඹේ අවසන් මොහත සමඟ සන්සන්දනය කර බලන්නෙමි. මයුරා… පිටතින් ලැබුණු බලපෑම්, මාව අත්තඩංගුවට ගත් අයගේ සිත වෙනස්වීම මගේ මරණය අත්හිටුවා නිදහසක් ලබාදුන්හ. නුඹටත් අන් අයටත් එය නොලැබුණි.

මගේ පියා දින දෙකක් ආහාර නොගෙන භාවනාවේ යෙදී සිටි බවට මගේ අම්මා පවසා සිටියාය. මගේ පවුලේ ඥාතීන් කෙතරම් දුක් වේදනාවකට මුහුණදී ඇතයි පසුව ඔවුන් මා වෙත පවසද්දී දැනගත්තෙමි. නමුත් දැන් නුඹේ ඥාතීන් අඞා වැලපීම දැකින විට මගේ සිතද වේදනාවට පත්වේ.

2006දී වසර 20කට පසු යළිත් වරක් ඇතිවූ මරණීය බය… මාව රැගෙන ගිය ශ්‍රී ලංකා බුද්ධි අංශය මාව මරා දැමීමේ තීරණයකින්ම පැහැරගෙන ගියහ. එම කාල වකවානුවල පැහැරගෙන යෑමට ලක්වූවන් කිසිවකු නැවැත නිවසට පැමිණියේ නැත. ඔවුන් මගේ අන්තිම කැමැත්ත කුමක්දැයි පවා විමසා සිටියේ නැත. නමුත් එක් අවස්ථාවකදී මම පවසා සිටියෙමි. හේතුව, මම 1986දී ඝාතනයට පත්වී සිටියේ නම් මගේ දෙමව්පියන්ට දරුවෙකු අහිමිවනු ඇත. සහෝදරවරුන් එක් සහෝදරවරයකුව අහිමිවනු ඇත. මගේ පෙම්වතියට සිය පෙම්වතා අහිමිවනු ඇත (දැන් මගේ බිරිඳ) නමුත් 2006දී මම ඝාතනයට පත්වුයේ නම් ලොවම නොදන්නා දරුවන් දෙදෙනෙකුටද තම පියා අහිමිවනු ඇත. එමෙන් මම කිව්වා… “මම කිසිම වැරද්දක් කර නැහැ, එලෙස වැරද්දක් කර ඇතයි සිතා ඔබලා මාව ඝාතනය කරන්නේ නම්, මගේ මළ සිරුර ගඟක, වැවක දමා අතුරුදහන් නොකරන්න. මගේ නිවස අසල දමන්න, තවද මම දෙන ලිපිය කියවා බලා තැපලෙන් එය නිවසට යවන්න“ යි පැවැසුවෙමි. ඒ කුමක් නිසාදැයි ඔවුන් විමසුවෝය. “මගේ මළ සිරුර දැකීමෙන් පසු ශෝකයට පත්වී වසරකින් දෙකකින් එම ශෝකයෙන් මිදී සිය ජීවිතය සඳහාවූ මඟක් මගේ බිරිඳ සහ දරුවන් සොයා ගනියි, නමුත් මගේ මළ සිරුර නොලැබුණේ නම් යම්කිසි දිනික මම නැවැත එයි යන බලාපොරොත්තුවෙන්ම ඔවුන් සිය ජීවිතය විනාශ කර ගනියි. “ යැයි මම පවසා සිටියෙමි.

එවිට ඔවුන් කිසිම පිළිතුරක් නොදී නිහඞව සිටියෝය. පහුවදා අළුයම මාව නිදහස් කිරීමට මගේ දෑස් බැඳ වාහනයට දමාගත් නමුත් මාව ඝාතනය කරන්නට යන බවටම සිතුවෙමි. මහ මඟ බස්සා දෑස වසා ඇති පටිය නොගලවන්නයි ඔවුන් පවසා සිටියෝය. එවිටද මට වෙඩි තියන්න යන බවට සිතුවෙමි.

නිදහස් කළ වේලාව අළුයම 4ට පමණ ඇතයි සිතන්නෙමි. නිවසට ගොස් දොර සීනුව නාද කළ විට නිවසතුල සිට කව්රුන්දැයි ඥාති සහෝදරයකු අසුවේය. ගුරු යයි මම පැවැසුවෙමි. නිවසේ කිසිවකුට එය විස්වාස කර ගැනීමට නොහැකිවුණි. හේතුව සියළු දෙනාම මම පණ පිටින් ආපසු නිවසට පැමිණෙනු ඇතයි විස්වාසයකින් තොරව සිටියහ. මගේ බිරිඳ, දරුවන්, ඥාතීන්, මිතුරන් සියළු දෙනාම දැඩි ශෝකයෙන් සිටියෝය. ජාත්‍යන්තර රටවල්හි බලපෑම, සිංහල හා දෙමළ මාධ්‍ය ප්‍රජාවගේ අරගලය හා පැහැරගෙන ගිය අයගේ සිත වෙනස්වීම නැවැත වරක් මගේ ජීවිතය බේරා දුන්හ.

මයුරා නුඹව කාටත් බේරාගත නොහැකිවුණි. නුඹවත් නුඹ සමඟ ගමන් කරන නුඹේ මිතුරන්ද ඔබ සියළු දෙනාගේම ඥාතීන්වත් මගේ අවසන් මොහත සමඟ මගේ ඥාති මිතුරන් සමඟ සන්සන්දනය කර බලන්නෙමි. මෙවැනි මරණයක් කෙතරම් දරුණුද?

මයුරා නුඹ ඇඳපු චිත්‍ර සමඟ නුඹව චිත්‍ර ප්‍රදර්ශණයකදී හමුවීමට තිබුණේ නම්? වැරදි වටහාගෙන එයින් මිදී යහපත් ජීවිතයක් ගත කරන්නේ කෙසේදැයි නුඹේ වචනවලින්ම මෙම ලොවට පැවැසීමට නුඹටත් නුඹ සමඟ ගමන් කිරීමට සූදානමින් සිටින සියළු දෙනාටම අවස්ථාවක් ලබාදී තිබුණේ නම්? මෙය විශ්මිත ලොවක් ලෙස නොතිබේද? අවාසනාවට මෙම ලොව තවඳුරටත් නිරයක් ලෙසම ඇත?

නුඹේ ආත්මය සමාදානයේ සැතපේවා!!!

නඩරාජා ගුරුබරන් – ග්ලෝබල් ටැමිල් නිව්ස් –
පරිවර්ථනය – Jasmin