MUSLIMS

අරාබි බස කියන්නේ අපේ රටට ආගන්තුක භාෂාවක්

sri-lanka-muslimඉස්ලාම් දහම ගැනත්, මුස්ලිම් සංස්කෘතිය ගැනත් අපේ රටේ ඉස්ලාම් නොවන මිනිස්සු අතර පැලපදියම් වෙලා තියෙන්නේ බොහෝම වැරැදි සහගත කරුණු කාරණා. එහෙම වෙලා තියෙන්නෙ තමන්ගේ ආගම ගැන පැහැදිලි විදිහට වෙනත් කෙනකුට කියා දෙන්න පුළුවන් දැනුම හැම මුස්ලිම් ජාතිකයකුටම නැති නිසයි. ඒ වගේ දැනුමක් තියෙන්නේ ආගම ඉහළින්ම හදාරපු අයට විතරයි.

ඉස්ලාම් දහමේ මූලික කරුණු වුණත් තව කෙනකුට කියා දෙන්න පුළුවන් දැනුමක් සාමාන්‍ය මුස්ලිම් මිනිස්සුන්ට නැතිවීම එක අතකට කණගාටුදායකයි. තවත් පැත්තකින් බැලුවම අපේ රටේ සමහර මුස්ලිම් මිනිස්සුන්ට ඉස්ලාම් දහම ගැනත් නිවැරැදි අවබෝධයක් නෑ. මේ තත්ත්වය මත සියවස් ගණනාවක් තිස්සේ අපේ රටේ සිංහල ජන සමාජයත් එක්ක සාමූහිකව ජීවත්වෙන මුස්ලිම් ප්‍රජාවට සමහර කරුණු කාරණාවල දී තවමත් හුදෙකලා වෙන්නත් සිද්ධවෙලා.

ගොඩාක් දුරට මේ තත්ත්වය උදාවෙලා තියෙන්නෙ ගම්බද පළාත්වලයි. විශේෂයෙන් සිංහල ජන සමාජයත් එක්ක සාමූහිකව ජීවත්වෙන ගම්වල මුස්ලිම් ප්‍රජාව ගමේ පොදු වැඩවලට, පාසලේ, පන්සලේ වගේම සිංහල අවමඟුලකට සහභාගිවීම තරමක් දුරට අඩුවෙන්න ප්‍රධාන ම කාරණාවත් ඕකමයි.

කතෝලික ආගමේ බයිබලයත් සිංහල බසින් මුද්‍රණය වෙනවා. දැන් දැන් කොළඹ ආශ්‍රිතව ක්‍රියාත්මක වන ඇතැම් මුස්ලිම් සංවිධාන කුරාණය සිංහල බසින් මුද්‍රණය කරලා බෙදා හැරියත් ග්‍රාමීය මට්ටමේ දී එවැනි තත්ත්වයක් දකින්න ලැබෙන්නෙ නෑ. ඒ නිසා කුරාණයේ සඳහන් වෙලා තියෙන ජීවිතයට අවශ්‍ය බොහෝ කරුණු කාරණා ගැන මුස්ලිම් නොවන ජනසමාජයට වගේ ම බොහෝ මුස්ලිම් මිනිස්සුන්ටත් හරි අවබෝධයක් නැති තරම්. එහෙම වෙලා තියෙන්නේ අපේ මුස්ලිම් ප්‍රජාව කුරාණය කියවන්නේ අරාබි බසින් නිසයි. අරාබි බස කියන්නේ අපේ රටට ආගන්තුක භාෂාවක්. ඒ භාෂාව ගැන නිවැරැදි දැනුමක් අපේ රටේ බොහෝ මුස්ලිම් මිනිස්සුන්ට නෑ. තිබුණත් තියෙන්නේ අල්ප දැනුමක්.

ඒ නිසා ඉතාමත් සරල ඉස්ලාම් දහමට මහා බරපතළ මුහුණුවරකුයි ලැබිලා තියෙන්නේ. මේ නිසාම ඉස්ලාම් දහමේ නිවැරැදි දැක්මක් සිංහල ජනසමාජයේ නෑ. කුරාණයේ උපතේ සිට විපත දක්වාම ජීවන රටාව හැඩගස්වා ගත යුතු වත්පිළිවෙත් ඉතා පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. ඒත් ඒවා ගැන හරි දැක්මක් නැති නිසා අපේ රටේ ගොඩාක් මුස්ලිම් මිනිස්සු සමාජයේ විවිධාකාර අපහසුතාවන්ට, දුෂ්කරතාවන්ට පත්වෙනවා.

සිංහල වගේ ම මුස්ලිම් ජන සමාජයෙත් එකිනෙකට වෙනස් සංස්කෘතික ලක්ෂණ තියෙන බව ඇත්ත. ඒත් ඒවා බොහෝමයක් ශ්‍රී ලංකාව වගේ මුස්ලිම් නොවන රටවලදි අනිත් සංස්කෘතීන් එක්ක එකට මුසුකරලා සාමූහික ජීවන රටාවකට යොමුවෙන්න තරම් දැනුමක් අපේ රටේ බොහෝ මුස්ලිම් මිනිස්සුන්ට නෑ. ඒ වුණත් මේ බව සෙසු ආගම් අදහන ප්‍රජාවට පෙන්වන්න මුස්ලිම් මිනිස්සු කැමැති නෑ. තමන්ගෙ ආගම ගැන හරි අවබෝධයක් නෑ කියන එක ලජ්ජාවට කාරණාවක් කියලා එයාලා දන්නවා. ඒ නිසා වෙනත් මුස්ලිම් නොවන කවුරුහරි ඉස්ලාම් දහමේ සමහර දේවල් ඇහුවම නොදන්නවා වුණත් මොනවා හරි (බොරුවක් හරි) කියලා වැඩේ ෂේප් කරගන්නයි අපේ රටේ ගොඩාක් මුස්ලිම් මිනිස්සු පුරුදුවෙලා තියෙන්නේ. තමන්ගේ නොදන්නකම වහගන්න කරන මේ බොරුවෙන් ඉස්ලාම් දහමට ලොකු අසාධාරණයක් වෙනවා කියලයි මට නම් හිතෙන්නෙ.

සංහිඳියාව කියන්නේ ශ්‍රී ලංකාව වගේ රටකට ගොඩාක් වැදගත් ක්‍රියාවලියක්. ඒක ජීවිතයේ සැඳෑ සමයට එළැඹිලා ඉන්න අපිට කොහොම වුණත් අනාගත පරපුරට ගොඩක් වැදගත්. මේ කාරණාවෙන් සිද්ධ වෙන්නේ ඉස්ලාම් දහම තව දුරටත් අපේ රටේ සැඟවුණු දහමක්…එහෙමත් නැතිනම් ගුප්ත කරුණු කාරණා ඇති ආගමක් විදිහට පැවතීමයි.

අපේ රටේ ගොඩාක් මුස්ලිම් මිනිස්සු දවසට පස් වතාවක් දෙවියන් නැමදීම, රාමලාන් උපවාසයේ නිරතවීම, සල්ලි තියෙනවා නම්, නැතිනම් කොහෙන් හරි හොයාගෙන හජ් වන්දනාවේ යාම වගේ ඉස්ලාම් දහමේ අනිවාර්ය කළ මූලික කරුණු අකුරට ම පිළිපැද්දත් ඊට පරිබාහිරව ඇති වෙනත් කරුණු හරි හැටි අනුගමනය කරන්නේ හුඟාක් අඩුවෙන්.කුරාණයත් එක්ක බැඳුණු තවත් කරුණු කාරණා ඕනෑ තරම් තියෙනවා. ඒවා ගොඩාක් සරලයි. ඒ වගේම නිවැරැදියි. මනස නිරවුල්ව තියාගන්න…ප්‍රශ්නවලට හරි විසඳුම් ලබාගන්න අවශ්‍ය මානසික මට්ටම ඇතිකර ගතයුතු ආකාරය…විශේෂයෙන් සමාජයේ එදිනෙදා කටයුතුවල දී ගැටුම් ඇතිකරගන්නේ නැතිව එකට එකතුවෙලා සාමයෙන්, සමඟියෙන් වැඩකරන හැටි මේ හැම දෙයක්ම කුරාණයේ නිවැරැදිව සඳහන් වෙනවා.

මුස්ලිම් ප්‍රජාවගේ ඇඳුම් පැළඳුම්..විශේෂයෙන් මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම්..මුස්ලිම් සංස්කෘතියට අවේනික ආහාරපාන, පල්ලිය, දහම් පාසල්…මේවා ගැන හරි අවබෝධයක් මුස්ලිම් නොවන ජනසමාජයට ලබාදීම අපේ රටේ මුස්ලිම් මිනිස්සුන්ගේ වගකීමක් වගේම යුතුකමක්. එහෙම නැතිනම් වෙන්නේ ජාතිවාදී සංවිධානවලට ඉස්ලාම් දහමත්, මුස්ලිම් ප්‍රජාවත් ගැන හිතේ හැටියට අසත්‍ය කරුණු වපුරන්න අවස්ථාව උදාවීමයි. දැන් සිද්ධවෙලා තියෙන්නෙත් ඒකම නේද…?

මුස්ලිම් නොවන කිසි ම ජාතියකට වෛර කරන්න කියලවත්, ඉස්ලාම් දහම අදහන්නෙ නැති හැම ජාතියකට ම විරුද්ධව යුද්ධ කරන්න කියලවත් කුරාණයේ කොතැනකවත් කියලා නෑ. ඉස්ලාම් දහමට අනුව ජීවිතය හැඩ ගස්වා ගත යුතු ආකාරය ගැන කියලා දෙන ගමන්ම කරුණාව, මෛත්‍රීය, ගුණගරුක බව වගේම හැමෝටම ආදරය කරුණාව දක්වන්න…පරිත්‍යාගශීලීත්වය, සහෝදරත්වය..සමානාත්මකතාව..මේ ගැන ඕනෑවටත් වැඩිය කරුණු කාරණා කුරාණයේ තියෙනවා. එකම දේ මේ කරුණු කාරණා ගැන මුස්ලිම් නොවන ප්‍රජාව අතරේ පැතිරිලා නැතිකමයි. එහෙම වෙන්න හේතුව තනිකර ම අපේ රටේ ගොඩාක් මුස්ලිම් මිනිස්සුන්ට ඉස්ලාමය ගැන සැබෑ අවබෝධයක් නැතිකමයි.

ඒවා ගැන හරි අවබෝධයෙන් යුතුව කටයුතු කරනවා නම් ඉස්ලාම් දහම ගැනත්, මුස්ලිම් මිනිස්සු ගැනත් අපේ රටේ සිංහල වගේ ම කතෝලික, හින්දු ආගම් අදහන අනිත් මිනිස්සු අතර මීට වඩා ලොකු පැහැදීමක්, ගෞරවයක් ඇතිවේවි.

– ෆවුස්
– dinamina.lk